gas

ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ නිෂ්පාදන හා සැපයුම් ජාලය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති මෙවැනි අවස්ථාවක විනිමය අනුපාතය ඉහළ යාම, අසාමාන්‍ය ලෙස අලාභ විඳීම්, සංචිත නොමැති වීම්, ගෑස් ප්‍රවාහන වියදම් ඉහළ යාම වැනි සාධාරණ හේතු මත ගෑස් මිළ ඉහළ දැමීමට ඉල්ලීම් කර ඇති නමුත්,  ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කැබිනට් අනුකාරක කමිටුවක් යටතේ ඍජුවම මෙම ගෑස් මෙහෙයුම් පිරිවැය අවම කර ගැනීමත්, වැඩි තොග මිලට ගැනීමේ වාසිය ලබා ගැනීමත්, ගෑස් සඳහා පනවා ඇති බදු ඉවත් කිරීමත් පිළිබඳ ඍජු අවධානය යොමු කිරීම තුළින් ගෑස් මිළ දැනට පවත්නා ආකාරයෙන්ම ඉදිරියේදී ද පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී.

එමෙන්ම මේ දිනවල පවත්නා ගෑස් මිළ හා එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් තමා වෙත යොමු කරන ලද ප්‍රශ්නයක් සඳහා පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පාරිභෝගික සේවා අධිකාරී පනත ප්‍රකාරව, 2021-06-09 දිනැති 2231/08 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අනුව විධාන අංක 78 යටතේ, ලීටර් 12.5ක ධාරිතාවයෙන් යුත් ගෑස් සිලින්ඩර් සෑම ගෑස් අලෙවිසැලකම පැවතිය යුතු බවට නියෝග නිකුත් කර ඇති බවයි.

එනමුත් මෙම ලීටර් 12.5ක ධාරිතාවයෙන් යුත් ගෑස් සිලින්ඩරය වෙනුවට  වෙනත් ගෑස් සිලින්ඩරයක් නිකුත් කිරීම සඳහා කිසිදු අවසරයක් ලබා දී නොමැති නමුත් නවෝත්පාදන සිදු කිරීම සඳහා ආයතනයක් වශයෙන් එම ගෑස් සමාගම් වලට අවසරය පවත්නා බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, මෙම නවෝත්පාදනයේ ප්‍රමිතිය සලකා බැලීමේ දී නියමිත ප්‍රමිතියට අනුව පවත්වා නොගැනීම තහවුරු වීමත් සමඟ පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධව පවතින පාරිභෝගික සේවා විධිවිධාන ප්‍රකාරව අධිකරණයේ නඩු පවරා ඇති බව සඳහන් කරන ලද අතර, මෙම පනතේ විධි විධාන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම මේ වන විටත් සිදු කර ඇති බවත්, එම නඩු පැවරීම කිසිසේත්ම කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡාවට බඳුන් කර විසඳිය යුතු තත්වයක් නොවන බව ද ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සියළු ක්‍රියාමාර්ග ගනිමින් දැනට පවත්නා ගෑස් මිළ කිසිදු වෙනසකින් තොරව පවත්වා ගැනීමත්, මෙරට ගෑස් සමාගම් කඩා වැටීමට ඉඩ නොදී පවත්වා ගැනීමටත් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජය කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී.

More Stories