vee

වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීම සඳහා වී ගබඩා විවෘත කර තිබුනත් මේ වනවිට ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකරන තත්ත්වයක් උද්ගතව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඒ, පාර්ලිමේන්තු පැවැති කෘෂිකර්ම උපදේශක කාරක සභා රැස්වීමේදීයි.

වී මිල දී ගැනීම සඳහා ගොවි භාරකාර අරමුදලෙන් සියයට 08 පොලියක් යටතේ රුපියල් මිලියන 500ක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ යටතේ වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීම ආරම්භ කළ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව වී අලෙවි මණ්ඩලය විසින් ණය පදනම යටතේ ලබාගත් මුදල, වී අලෙවි කර ගෙවීමට කටයුතු කළ යුතුව ඇති බවද අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.

වී අලෙවි මණ්ඩලය පසුගිය වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය බැංකුවලින් ගත් ණය මුදල අනුව තවත් රුපියල් මිලියන 24,000ක මුදලක් ගෙවීමට ඇති නමුත් වී මිල දී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවකින් තවත් රුපියල් මිලියන 750ක ණය මුදලක් ලබා ගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

එවන් පසුබිමක දිස්ත්‍රික්ක 10ක ගබඩා 39ක් විවෘත කර වී මිල දී ගැනීමේ කටයුතු ආරම්භ කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එහෙත් මේ වනවිට ගොවීන් පවතින නියඟය තත්ත්වය සමග වී මිල ඉහළ යා හැකි බැවින් වී අලෙවි මණ්ඩලයට වී ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

පවතින තත්ත්වය මත හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී මිල දී ගැනීම සඳහා විවෘත කළ ගබඩා 06ක් මේ වනවිට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ, ගොවීන්ගේ වී නොලැබීම හේතුවෙන්.

නියඟය තත්ත්වය ලබන යල කන්නය තෙක් පවතීයැයි ඇතැම් අංශ මගින් ප්‍රකාශ වී ඇති බැවින් තම වී ඉහළ මිලකට අලෙවි කර ගැනීම සඳහා ගොවීන් මේ වනවිට වී ගබඩා කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. ඔවුන් වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 95කට වඩා වැඩි මිලකට අලෙවි කර ගත හැකි වෙතැයි අපේක්ෂාවෙන් පසුවන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

කෙසේ වුවද මේ වනවිට රට තුළ හදිසි ආහාර අර්බුධයක දී භාවිතා කිරීම සඳහා අමතර සහල් සංචිතයක් රජය සතුව නොපවතින බවයි අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී පෙන්වාදී ඇත්තේ.

මුල් අවස්ථාවේ සිටම වී අලෙවි මණ්ඩලය මගින් වී අලෙවි මිල දී ගත්තා නම් වී සංචිතයක් රජය සතුවන නමුත් මේ වනවිට එවැනි වී සංචිත නොමැති බව කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

More Stories