“1971 අරගලයෙන් අවුරුදු 53ක් ගෙවුණු තැන මේ සමරුව සඳහා අපි එකතු වෙලා ඉන්න කොට අපි දන්නවා, 1971 අරගලය සම්බන්ධයෙන් මේ දිනවල විවිධ අදහස්, සාකච්ඡා පවතිනවා. ඒ අතර සමහරු මේක නොකළ යුතුව තිබුණු අරගලයක්, තේරුමක් නැති දෙයක් ලෙසත් හඳුන්වනවා. ඒ වගේම මේක නොමේරු තරුණ පිරිසකගේ වැඩක් ලෙස සමහරු පණ්ඩිතමානි විශ්ලේෂණයන් කරනවා. නමුත් ඔවුන් එදා කළ අරගලය හැර ඔවුන් මුහුණ දුන් අත්දැකීමට විසඳුම් හොයන ක්‍රමයක් තිබෙනවද කියන ප්‍රශ්නයකුත් තිබෙනවා. යසවර්ධන රුද්‍රිගු 71 අරගලය සම්බන්ධ ලියූ කෘතියේ එන කොටසක් මේ වෙලාවෙ මතක් කරන්න පුළුවන්. ඒකෙ තියෙන්නෙ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් 71 අරලකරුවන් ප්‍රශ්න කරන අවස්ථාවක්. ඔවුන්ට පන්ති පහ ගැන දැනගන්න ඕන වෙලා තිබුණා. ඉතින් සැකකරුවන්ව හිටපු සහෝදරවරු ඔවුන්ට අධ්‍යාපන පන්ති සාකච්ඡා සම්බන්ධ කරුණු ඉදිරිපත් කරලා තිබුණා. පළමුවන පන්තිය පිළිබඳ සාකච්ඡාව අවසානයේ නිලධාරින් තේ එකක් බොන්න කතා කළ බවත් පන්ති සාකච්ඡා අවසානයේ ඔවුන් අරගලයට පක්ෂපාති අදහස් පළ කළ බව ඒ පොතේ අනාවරණය කර තිබුණා. 1960 ගණන්වල සිංහල චිත්‍රපට බලනවිට 1971 අරගලයට පසුබිම්වන ඒ කාලෙ ජනතාව මුහුණ දුන් පීඩාව, සමාජ අසාධාරණය හොඳින්ම නිරූපණය වෙනවා. අවශ්‍ය තත්වයන් පරිණතවන්න පෙර සිදු කළ නැගිටීමක් ද යන්න 1971 අරගලය සම්බන්ධ විවේචනයක් තිබෙනවා.
නමුත් අරගලයක් කරන්න, අරගලයක අවශ්‍යතාව ඔවුන් එදා හොඳින්ම හඳුනාගෙන තිබුණා. අධිරාජ්‍යවාදයට විනාශය, ජනතාවට විජයග්‍රහණය ලෙස එදා 1971 අරගලයෙදි ඔවුන් කිව්වෙ. අදවන විට අපි ඒ අධිරාජ්‍යවාදය ගැන හොඳටම අත්දකිමින් ඉන්නවා. ධනවාදයට විනාශය සමාජවාදයට ජයග්‍රහණය කියන සටන් පාඨය ඔවුන් ගෙනාවෙ, ධනවාදය විසින් ලෝකයටම ගෙන දී ඇති විනාශය අද අපි අත්දකිමින් ඉන්නවා.
දැවැන්ත සමාගම් බැංකුවලට පොලු තියනවා, නමුත් සාමාන්‍ය ජනතාව ගන්නා ණය ගෙවන්න බැරිකම නිසා ඔවුන්ගෙ නිවාස දේපළ සින්න වෙනවා. ආර්ථික අර්බුදය නිසා ජනතාව මත බදු ගෙවන්න සියලුම ජනතාවට සිදුව තිබෙද්දිත් බදු නොගෙවා වංචා කරන විශාල පරිමාණ ව්‍යාපාරිකයන්, සමාගම්වල තොරතුරු දැන් අනාවරණය වෙලා තියෙනවා. ලංකාව ආර්ථික අර්බුදයක තියෙනවා කියලා අපි කියනවා. ඇත්තටම අපි සමාජයේ සාතිශය බහුතරයක් පීඩාවෙ ගිලිලා ඉන්නවා. නමුත් ඇත්තටම මේ සමාජයේ, මේ රටේ හැමෝම එක හා සමානව ඒ පීඩාව විඳිනවද?
1971 අරගලයෙන් පසුව ලියැවුණු විමුක්ති ගීයක මෙහෙම කොටසක් තියෙනවා.
“එක ලොවක දෙළොව වෙත දෙනෙත් දල්වා
දෙළොව එක ලොව සදන මගට ආරාධනා!”
ලංකාවෙ වැඩිම ආදායම් ලබන සමාගම් 10න් පළමුවන සමාගම් 5ක්ම මුල්‍ය ප්‍රාග්ධන සමාගම්. ජනතාව ණය වෙලා බැංකුවලට දේපොළ සින්න වෙද්දි දැවැන්ත ලාභ ගන්නෙ මේ මුල්‍ය සමාගම්, බැංකු සහ ඒවා හිමි ධනකුවේරයන්.
අපි මේක එක ලෝකයක් කිව්වට මේ ලෝකය ඇතුලේ ලෝක දෙකක් තියෙනවා. ඒ නිසා එක ලෝකයක් හදන්න වැඩ කරන්න ආරාධනා කරන දේශපාලනය 1971 අරගලය කළ පරම්පරාව විශ්වාස කළා. එදාට වඩා අද මේ සමාජයේ විශාල පිරිසක්, මිලියන ගණනක් අධික ආර්ථික දුෂ්කරතා මැද බාගෙට මැරි මැරී ජීවත් වෙද්දි බදු වංචා කරමින් නමුත් ගොඩ ගසමින් ලාභ කඳු ගොඩ ගසන පිරිසක් අපේ රටේ ඉන්නවා.
පහුගිය දවසක පාර්ලිමේන්තුවෙදි අනාවරණය වුණා මේ ලෝක දෙක ගැන. එකතු කළ අගය මත බද්ද වැඩි කළේ රු බිලියන 600ක් හොයන්න. මේ වාර්තාවෙ තියෙනවා රු 656ක් තියෙනවා දැවැන්ත සමාම් හිමිකරුවන් බදු ගෙවලා නෑ. දැවැන්ත සමාගම්වල බදු අයකර ගත්තා නම් වැට් බදු වැඩි කරන්න අවශ්‍ය නෑ. යුනිසෙෆ් වාර්තාවක් කියනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 20% මන්දපෝෂනයෙන් පෙළෙනවා කියලා. මේ වනවිට පාසල් උඵකරණවල මිල ගණන් ඉහළ ගියේ බදු නසා.
2022 අවුරුද්දෙ පමණක් දැවැන්ත සමාගම්, ධනකුවේරයන් රුපියල් බිලි 978ක් බදු සහන අරගෙන තියෙනවා. ළදරු කිරිපිටිවලට ගහන බදු අයින් කරන්න කිව්වා. නමුත් ඒක කරන්න පාලකයන් සූදානම් වුණේ නෑ. අපි දන්නවා, අලුත උපන් දරුවන් ඉන්න සමහර මව්පියන් මුහුණ දෙන දුස්කරතාව. මව්කිරි දෙන්න බැරි අවස්ථාවකදි කිරි දරුවෙකුට කෘත්‍රිම කිරිපිටි දෙන්න නම්, මාසෙකට රුපියල් 70000ක් විතර වියදම් වෙනවා. ඒකට බදු සහන දෙන්න බෑ කිව්වා. මිනිහෙක් මැරෙන්න ඉන්කටෙ දෙන බෙහෙත්වලට ගහපු බදු අයින් කරන්න බෑ කිව්වා.
පාර්ලිමේන්තුවෙදි දැන් මේ බදු සහන දීපු ඒවා හෙලි වෙනවා. 2023 2වුරුද්දෙ මත්පැනි සමාගම් පැහැර හැරි සුරා බදු කෝටි 699ක්. කවුරු හරි කසිප්පු පෙරලා අහු වුණාම, පොලිසියට ගෙනියලා ගහනවා. අවමන් කරනවා. නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කිරීම තමයි චොදනාව. නමුත් අරක්කු සමාගම් කරලා තියෙන්නෙත් නීති විරෝධී ලෙස මත්පැන් පෙරීමයි. අර්ජුන් ඇලෝසියස්ට එක නීතියක් කසිප්පු පෙරන අයට වෙන නීතියක්. මිනිස් ශරීරයට විෂ සහිත මත්පැන් පෙරීම නිසා බලපත්‍ර අහිමි කළ ජොන්ස්ටන්ගෙ සමාගමේ බලපත්‍ර නැවත දීලා.
ධනවාදය අද වනවිට අපේ රටේ ගෙන යන ප්‍රතිසංස්කරණ බැලුවම වෙන කවදාටවත් වැඩි දරුණු ලෙස ජනතාවට පීඩාකාරී වෙමින්, සමාජයට පහර පිට පහර එල්ල කරමින් තිබෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනල්ලා ශිෂ්‍යයන්ට පහර දෙනවා. කම්කරු නීති අලුත් කරනවා කියලා වැඩකරන ජනතාවට පහර දෙනවා. පාරිභෝගිකයට ව්‍යාපාරකියන් පහර පිට පහර දෙනවා. රුපියල් 92ට වරායෙන් ගන්න බීලුණු කිලෝව 365ට තොග වෙළන්දාට දෙනවා. එදා 1971 අරගලයට වඩා අද අපි මුහුණ දෙන තත්වය තුළ නැගී සිටින්න බලකරනවා. කාලතුවක්කු උන්ඩ ආනයනයෙදි 24% බදු, සනීපාරක්ෂක තුවා ආනයනයෙදි බදු 44%ක්. දැන් මන්ත්‍රීවරුන්ට ගිහින් පාසල්වල ශිෂයාවන්ට සනීඵාරක්ෂක තුවා බෙදන්න පුලුවන්, ඡන්ද එකතු කරගන්න. මේ නිසා අපි කියන්නෙ 1971 අරගලයෙ යෙදුණු සහෝදරවරු එදා අද තිබුනු තත්වය වෙනස් ආකාරයකින් දැක්කා. මේ සමාජ ක්‍රමය කියන්නෙ සම්මුතිගත වෙන්න ඕන දෙයක් නෙවෙයි, පහර දී විනාශ කරන්න ඕන දෙයක් බව ඔවුන් දැන සිටියා. පොලිසි කියන්නෙ මල්මාල දාගෙන ගිහින් විවෘත කරන දෙයක් නෙවයි කියලා ඔවුන් දැනගෙන හිටියා. ඔවුන් පොලිසිවලට පහර දෙන්න තීරණය කරන්න හේතු තිබුණා. දැන් සමහරු කියනවා පොලිසියට පහර දනේන ගත්ත තීරණය වැරදි එකක්, මේ අයට රාජ්‍ය ගැන අදහසක් තිබුනෙ නෑ කියලා. නමුත් ඔවුන් රාජ්‍ය ක්‍රියාත්මක වෙන්නෙ මර්දනය එන්නෙ කොතනින්ද කියන එක දැනගෙන ඒ තීරණය ගත්තෙ. අදත් අපි මුහුණ දෙන දැවැන්ත සමාජ ආර්ථික පීඩාව හමුවේ විරෝධය පළ කරද්දි පොලිසිය හරහා, ආරක්ෂක අංශ හරහා පාලකයන් මුදා හරින රාජ්‍ය මර්දනයට මුහුණ දෙමින් ඉන්නවා. ඒ නිසා 1971 පරම්පරාව තමන්ගෙ සමාජය මුහුණ දෙන මර්දනය හා පීඩාව හමුවෙ පහර දෙන්න තීරණය කරපු එක ගැන අපට හිතා ගන්න පුලුවන්.
ඒ නිසා අපි මේ වන විට මුහුණ දෙමින් සිටින පීඩාව, ජීවන ගැටලු හමුවේ තවදුරටත් මේ අයුක්ති සහගත, විනාශකාරී පැවැත්ම ඉවසා දරා ගෙන ඉන්නවාද? මේක වෙනස් කරන්න, අපට ජීවත් වෙන්න පුලුවන් ලෝකයක් වෙනුවෙන් දේශපාලනය කරනවාද? අරගල පරාජය වුණ සමාජයක් තුළ අපි ඒ ගැන නැවත හිතන්නෙ මොනවද? අපි ඒ ගැන නැවත හිතලා බලද්දි, දැන් අපේ ජීවිත ගැන සෑහීමකට පත් වෙන්න පුලුවන්ද? අපි සෑහීමකට පත් වෙනවා නම්, අපි මේ ධනවාදය විසින් උරුම කරන සියල්ල ඉවසා දරාගන්න වෙනවා. අපේ දරුවන්ගෙ පරම්පරාවටත් අපි විඳින මේ පීඩිතභාවය හිමිකරන්න අපිට පුළුවන්ද? ඒ නිසා මේක වෙනස් කිරීමේ අභියෝගය අප උරමත තිබෙනවා. අපි ඒක මානව සමාජයෙ මේ මොහොත විසින් ඉතිහාසයෙ අපට දුන් වගකීමක් ලෙස ගෙන වෙනස් කිරීමේ විප්ලවකාරී දේශපාලනයට ප්‍රවේශ වෙමු, නැවත නැවත අරගල කරමින් නැවත නැවත සමාජ ජයග්‍රහණ වෙනුවෙන් සියලු බලවේග ඒකරාශි කරමු කියන යෝජනාව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අපට තියෙනවා. අප මත පටවන මේ පීඩාව, මර්දනය ඉවසා නොසිට ධනවාදය පරාජය කරන්න වැඩ කරමු, අපි එක්ව සටන් කරමු, ජයග්‍රහණය තෙක් සටන් කරමු කියලා අද අපි මේ අප්‍රේල් සමරු වේදිකාවේ සිට ලාංකික පීඩිත ජන සමාජයට යොජනා කරනවා.”
පුබුදු ජයගොඩ