parli

පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතා අවම කරමින් කඩිනම් ජනතා සහන සැලසීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (13) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

ඒ අනුව මහ කන්නයේ වී මිලදී ගැනීමටත්, දිළිඳු පවුල් ලක්ෂ 20ක් සඳහා මාර්තු සහ අප්‍රේල් මාස දෙකෙහිදී සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ලබා දීමටත් අවශ්‍ය ප්‍රතිපාදන නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

2022 වර්ෂයේ අප්‍රේල් මාසය වන විට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත් 18,000කගේ හිඟ විශ්‍රාමික පාරිතෝෂික අක්මුදල්වලින් කොටස් වශයෙන් ගෙවාගෙන යෑමටත් කැබිනට් මණ්ඩල තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමටත් කැබිනට් මණ්ඩලයේදී තීරණය විය.

මන්දපෝෂණය තුරන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ ගැබිනි මව්වරුන් සඳහා ලබා දෙන මාසික දීමනාව, ආහාර සුරක්ෂිතාව නොමැති පවුල් සඳහා ලබා දෙන මාසික දීමනාව අඛණ්ඩව ලබා දීමටත්, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී, මූල්‍ය ආධාර හා සමෘද්ධි සහනාධාරය හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දීමටත් තීරණය කර ඇත.

අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) සවස අමාත්‍ය මණ්ඩලය රැස්විය.

මේ වැඩපිළිවෙළ සඳහා රුපියල් බිලියන 19ක් (කෝටි 1900ක්) වෙන් කිරිමට නියමිතය.

More Stories