ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ආදළ ඡන්ද විමසීම අද දිනට යෙදී තිබෙනවා.
අද පෙරවරු 7 ට ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වන බවත්, සවස 4 දක්වා ඡන්දදායකයින් හට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව තිබෙන බවත් ඉන් අනතුරුව ඡන්ද මධ්‍යස්ථානවල සිට ඉතා ආරක්ෂිතව
ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම සඳහා නිසි වැඩ පිළිවෙළක් සකස් කර ඇති බවත්, ඒ සඳහා පොලිස් ආරක්ෂාවද යොදවා තිබෙන බවත්, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළා.
2022 වසරේ රට මුහුණ දුන් බරපතළ ආර්ථික අර්බුදයෙන් පසු පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය මෙයයි.
මුලින්ම විධායක ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ 1982 (ඔක්තෝබර් 20) දායි.
ඒ ඡන්දයට අපේක්ෂකයන් හය දෙනකු තරඟ වැදුණු අතර ජය ගත්තේ එවකට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයි.
සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කර තිබීම එම ජනාධිපතිවරණයේ කැපී පෙනුණු සිදුවීමක් විය.
නමුත් ශ්‍රීලනිපයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව තරඟ වැදුණු අතර ඔහු දෙවැනි තැනට ඡන්ද ගත්තේය.
ජේ.ආර්. 52.91% ක් ගත් අතර කොබ්බෑකඩුව 39.07% ක්ද ඡන්ද ප්‍රතිශත ලබා තිබිණි.
සෙසු අපේක්ෂකයන් වී සිටියේ රෝහණ විජේවීර (ජවිපෙ), කුමාර් පොන්නම්බලම් (දෙමළ කොංග්‍රසය), කොල්වින් ආර් ද සිල්වා (ල.ස.ස.ප) සහ වාසුදේව නානායක්කාර (නව සමසමාජ) ය.
එවකට ජනාධිපතිවරණය මේ රටේ ඡන්ද දායකයන්ට අලුත් අත්දැකීමක් වී තිබුණත් ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 80.6% ක් ඡන්දය භාවිත කර තිබීම කැපී පෙනුණා.
ඊළඟට ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබූ 1988 වන විට රටේ දේශපාලනය පමණක් නොව ආරක්ෂක තත්ත්වයද තිබුණේ අර්බුදයකයි.
රටේ දෙකෙළවරම ත්‍රස්ත යුද්ධ දෙකකට මැදිව තිබුණි.
ජවිපෙ සහ උතුරේ ඇතැම් දේශපාලන පක්ෂද තහනම් කර තිබුණත් සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය යළි ලැබී තිබීම නිසා ඇය ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් වූවාය.
යු.එන්.පීයෙන් රණසිංහ ප්‍රේමදාස ඉදිරිපත් වූයේ පක්ෂ ඇතුළේ සෑහෙන සටනක් දීමෙන් පසුවය. බිහිසුණු වාතාවරණයක් යටතේ පැවැති ජනාධිපතිවරණයක් වීම හේතුවෙන් (දෙසැම්බර් 19) ඡන්ද භාවිත කර තිබුණේ ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 55.32% ක් පමණි.
50.43% ක ඡන්ද ලැබූ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් ජය ලැබූ අතර සිරිමා බණ්ඩාරනායකට ලැබී තිබුණේ 44.95% ක ඡන්ද ප්‍රතිශතයකි.
ඊළඟට ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ 1994 වසරේ (නොවැම්බර් 09) දීය.
ඒ වනවිට ජනාධිපති ප්‍රේමදාස ඝාතනය වීම හේතුවෙන් ධූර කාලය සම්පුර්ණ කිරීමට ඩී.බී. විජේතුංග පත් කර තිබුණි.
නමුත් ඔහු ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තු වූයේ නැත.
ලලිත් ඇතුළත්මුදලි ද ඝාතනය වී සිටීම හේතුවෙන් ලොකු තරගයකින් තොරව ගාමිණී දිසානායක යූ.එන්.පී. අපේක්ෂකත්වය හිමිකර ගත්තේය.
හැබැයි ඒ වනවිට යූ.එන්.පීයේ බහුතරයකගේ මතයට විරුද්ධව යමින් ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය පවත්වා තිබීම හේතුවෙන් ජනාධිපති යූ.එන්.පී. වුණත් ආණ්ඩුව තිබුණේ චන්ද්‍රිකා නායකත්වය දුන් පොදුජන එක්සත් පෙරමුණටයි.
පාර්ලිමේන්තුවේ ශ්‍රීලනිපය වෙනුවට එම පක්ෂයේ ප්‍රධානත්වයෙන් පිහිටුවා තිබූ සන්ධානයක් බලයට පැමිණි ප්‍රථම අවස්ථාව එය විය.
ඒ සන්ධානය පිහිටුවීමට සහාය ලබා දුන්නේ මඩකලපුවෙන් තරග කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අෂ්රොෆ් ය.
පාර්ලිමේන්තු බලය නොතිබුණත් ගාමිණී දිසානායක ජනාධිපතිවරණයට සාර්ථක කැම්පේන් එකක් කරමින් සෑහෙන ඉදිරියට එමින් සිටියත් කොළඹ බෝම්බ පිපිරීමකින් ඔහු ඝාතනය විය.
මේ නිසා යූ.එන්.පීයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරුණේ ගාමිණීගේ බිරිඳ වූ ශ්‍රීමා දිසානායකයි.
වාර්තාගත 62.28% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් චන්ද්‍රිකා ජයගත් අතර යූ.එන්.පීය නියෝජනය කළ ශ්‍රීමා දිසානායක ලබාගත්තේ 35.91% ක් පමණි.
මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2000 වසරේදී වුවත් චන්ද්‍රිකා ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී තිබෙන බලතල අනුව 1999 වසරේ (දෙසැම්බර් 21) දී ජනාධිපතිවරණය කැඳවුවාය.
ජනාධිපති ධූර කාලය වසර 06 කට සීමා වුවද පළමු ධූර කාලය තුළදී වසර 04 කින් පසුව ජනාධිපතිවරණය කැඳවීමට ජනාධිපතිට ව්‍යවස්ථාවෙන් බලය පැවරී තිබේ.
නමුත් දෙවැනි ධූර කාලය අවසානයේදී හෝ ධූර කාලය සම්පූර්ණ කිරීමකදී හෝ ජනාධිපතිවරණයක් කැඳවීමේ බලය හිමි වෙන්නේ මැතිවරණ කොමිසමටය.
චන්ද්‍රිකාට එරෙහිව එම ජනාධිපතිවරණයේදී යූ.එන්.පීයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ මහතාය.
ඔහුද ශක්තිමත් කැම්පේන් එකක් දියත් කරමින් චන්ද්‍රිකාට කරට කර සටනක් දෙමින් සිටියදී අවසන් රුලියේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් චන්ද්‍රිකා බරපතළ තුවාල ලැබූ අතර ඇසක්ද අහිමි විය.
එදිනම පැවැති යූ.එන්.පී. අවසන් රුලියටද බෝම්බ ප්‍රහාරයක් එල්ල වී කිහිප දෙනකු මිය ගිය අතර රනිල් වික්‍රමසිංහ මහතා ඒ අවස්ථාවේ එම රුලියට පැමිණ සිටියේ නැත.
චන්ද්‍රිකා එම ජනාධිපතිවරණයෙන් පරාජයට පත් විය හැකි බව බොහෝ අනාවැකි පළ වී තිබුණත් එම බෝම්බ ප්‍රහාරය දේශපාලන වශයෙන් වාසියකට හැරීම හේතුවෙන් රටේ ජනයාගේ අනුකම්පාව චන්ද්‍රිකාට හිමි විය.
51.12% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇය ජයගත් අතර රනිල් වික්‍රමසිංහට ලැබුණු ඡන්ද ප්‍රතිශතය 42.71% කි.
සිදුවීම් විශාල සංඛ්‍යාවක් සටහන් කළ එම ජනාධිපතිවරණය තවත් වාර්තාවක් තැබුවා.
ඒ ඉදිරිපත් වූ අපේක්ෂකයන් සංඛ්‍යාවෙනි.
චන්ද්‍රිකා සහ රනිල් ඇතුළුව අපේක්ෂකයන් 13ක් එම ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියා.
නන්දන ගුණතිලක (ජවිපෙ), හරිස්චන්ද්‍ර විජේතුංග (සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර), ඩබ්ලිව්.වී.එම්. රන්ජිත් (ස්වාධීන), රජිව් විජේසිංහ (ලිබරල්), වාසුදේව නානායක්කාර (වාමාංශික සහ ප්‍රජාතන්ත්‍රික සන්ධානය), ටෙනිසන් එදිරිසූරිය (ස්වාධීන), අබුදුල් රසුල් (ශ්‍රී ලංකා මුස්ලිම්), කමල් කරුණාදාස (මානව විමුක්ති සහයෝගීතා පෙරමුණ), හඩ්සන් සමරසිංහ (ස්වාධීන), ආරියවංශ දිසානායක (ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ) සහ ඒ. ඩබ්ලිව්. ප්‍රේමරත්න (බහුජන නිදහස් පෙරමුණ) එම අපේක්ෂකයෝ වූහ.
කොතරම් යුදමය වාතාවරණයක් පැවතියද ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 73.31% ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වීමද එහිදී කැපී පෙනින.
චන්ද්‍රිකාගේ දෙවැනි ධූර කාලය අවසන් වනවිට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය හේතුවෙන් මහින්ද රාජපක්ෂ සමඟ චන්ද්‍රිකා විරසකයක් ඇති කරගෙන සිටියාය.
වරින් වර චන්ද්‍රිකා සමඟ සාකච්ඡාවලට ගියත් මහින්දට තේරුම් ගොස් තිබුණේ චන්ද්‍රිකා මෙහිදී කිසියම් ගේමකට සූදානම් වන බවකි.
නමුත් පක්ෂය ඇතුළේ වැඩි සහයෝගයක් ඇත්තේ තමාට බව මහින්ද තේරුම් ගෙන සිටියා.
අවසානයේ ඔහු චන්ද්‍රිකා සමඟ එක්ව සටනට පිවිසියා.
එහි ප්‍රතිඵලය වූයේ මහින්දට ජනාධිපති අපේක්ෂකත්වය හිමිවීමයි.
තියුණු සටනකින් පසුව මහින්ද 50.29% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ජනාධිපති ධූරයට පත්විය.
එය ජනාධිපතිවරණ ඉතිහාසයේ තියුණුම ඡන්ද සටන වූ අතර ජයග්‍රාහකයාට අඩුම ප්‍රතිශතය වාර්තා වූයේද ඒ වසරේදීය.
රනිල් වික්‍රමසිංහ මහතා යූ.එන්.පීයෙන් තරඟ කළ අතර ලබාගෙන තිබූ ඡන්ද ප්‍රතිශතය 48.43% කි.
මේ ජනාධිපතිවරණයේ තවත් වෙනසක් වූයේ මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිපයෙන් තරඟ වැදීමයි.
චන්ද්‍රිකා නායකත්වය දුන් පොදුජන එක්සත් පෙරමුණ එතැනින් අවසන් විය.
එසේම මේ ජනාධිපතිවරණයද මහින්ද සහ රනිල් ඇතුළුව අපේක්ෂකයන් 13 ක් තරග කිරීමත් කැපී පෙනුණි.
2005 න් පස්සේ ඊළඟට පැවැති ජනාධිපතිවරණයද මහින්ද අවුරුදු 05 කින් කැඳවූයේ (2010 දී) යුද ජයග්‍රහණයෙන් ලැබූ විශාල දේශපාලන වාසිය ලබා ගැනීම සඳහායි.
මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වී 57.88% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා දෙවැනි ධූර කාලයටද ජනාධිපති වූ අතර යූ.එන්.පී. වෙනුවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් සරත් ෆොන්සේකා තරඟ කර පරාජය විය.
ඔහු 40.15% ක ප්‍රතිශතයක් ලබා තිබිණි.
මෙම ජනාධිපතිවරණය සඳහා මහින්ද සහ රනිල් ඇතුළුව අපේක්ෂකයන් 22ක් ඉදිරිපත් වීමද වාර්තාගත විය.
කෙසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා කෙතරම් ජනප්‍රිය නායකයකු වුවද ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 74.50% ක් පමණක් ඡන්දය භාවිත කර තිබීම කැපී පෙනුණි.
2015 (ජනවාරි 08) ජනාධිපතිවරණයක් කැඳවීමට මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තේ ඔහුගේ පාලනය පිරිහෙමින් පවතින බවට ලැබුණු වාර්තා හේතුවෙනි.
ඒ වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දැඩි අධිපතිභාවයක් ලබා දීමෙන් 18 වැනි ව්‍යවස්ථාව හඳුන්වා දී තිබීම නිසා මහින්දට 03 වැනි වරටත් ජනාධිපති ධූරය සඳහා තරඟ වැදීමට බාධාවක් නොතිබිණි.
අපේක්ෂකයන් 19 දෙනකු එයට තරඟ කළ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කළ හිටපු ශ්‍රීලනිප මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා 51.28% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ජය ගත්තේය.
මෙම ජනාධිපතිවරණයට තමන්ට තරග කිරීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳ 2014 නොවැම්බර් 05 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ක්‍රියා කිරීමද මේ ජනාධිපතිවරණයේ විශේෂ සිද්ධියක් විය.
බලයේ සිටින ජනාධිපතිවරයකු තමන්ට තරග කිරීමට හැකියාවක් තිබේද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසූ ප්‍රථම අවස්ථාව එය වූ අතර පසුව සිදුවූ ව්‍යවස්ථා සංශෝධන හේතුවෙන් එය අවසන් අවස්ථාව වශයෙන්ද ඉතිහාස ගතවනු ඇති.
මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපති ධූර කාලසීමාව දේශපාලන කුණාටුවලින් පිරී ගියත් විධායක බලතලවල තටු කපාගත් පළමු ජනාධිපති වශයෙන්ද ඔහු කැපී පෙනෙයි.
ජනාධිපති ධූර කාලය වසර 05 කට සීමා කරන ලද්දේ එම තටු කපා ගැනීම් හේතුවෙනි. එවකට සිදුවූ ජනාධිපති අගමැති ගැටුම ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඇදී ගිය අතර උසාවි තීන්දුවෙන් ජනාධිපති මෛත්‍රීපාල ගනු ලැබූ පියවර බල රහිත කරනු ලැබීය.
2019 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් (පොහොට්ටුව) තරග කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගත්තේ 52.25% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාසට 41.99% ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවූ අතර තුන්වැනි තැනට පත්වූ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ලැබූ ඡන්ද ප්‍රතිශතය 3.16% ක් විය.
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39 දෙනෙක් තරඟ වදී.
ශ්‍රී ලංකාවේ වෙසෙන මිලියන 22ක් වන ජනතාවගෙන් මිලියන 17කට ආසන්න සංඛ්‍යාවක් ජනපතිවරයෙකු තෝරා ගැනීමට ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබනවා.