ranil

පාර්ලිමේන්තුවේ බලතල වැඩි වන යෝජිත 21 වැනි සංශෝධනයෙන් පමණක් සෑහීමකට පත් නොවී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන අලුත් ක්‍රමයක් සකස් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

විසිවැනි සංශෝධනය මඟින් පාර්ලිමේන්තුවේ බලය දුර්වල කර විධායකය අත්පත් කර ගත් බලතල යළි පාර්ලිමේන්තුවට පැවරීමට කටයුතු කෙරෙන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

පාර්ලිමේන්තුවේ ව්‍යුහය වෙනස් කර දැන් තිබෙන පාර්ලිමේන්තු ක්‍රමය හෙවත් වෙස්මිනිස්ටර් ක්‍රමය සහ රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය යන දෙකම එකතු කර අලුත් ක්‍රමවේදයක් ඇති කිරීම අවශ්‍ය බව පෙන්වා දුන් ඒ් මහතා එවිට පාර්ලිමේන්තුවටම රටේ පාලනයට සහභාගී විය හැකි බවත් අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවට මුදල් බලතල දෙන නීති ශක්තිමත් කරන බවත් දැනට රජයේ මූල්‍ය කටයුතු පිළිබඳ පවතින රජයේ මූල්‍ය කාරක සභාව, ගිණුම් කාරක සභාව සහ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාව යන සභා තුනේ බලතල ශක්තිමත් කිරීමට දිනේෂ් ගුණවර්ධන සභානායකතුමා යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත් කී අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා

මීට අමතරව මුදල් පිළිබඳ අලුත් කාරක සභා දෙකක් ඇති කිරීමට කටයුතු කරන බවත් කීය.

ඊළඟ දශකය තුළ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 18ත් 20ත් අතර අගයකට ගෙන යා යුතු බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා මේ සඳහා ක්‍රම සහ විධි කාරක සභාවක් පත් කරන බවත් බැංකු සහ ෆිනෑන්ස් ආයතනවල තිබෙන මූල්‍ය තත්ත්වය දුර්වල වී ඇති හෙයින් ඒවා ශක්තිමත් කිරීමේ අරමුණින් බැංකු හා මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවක් පත් කරන බවත් සඳහන් කළේය.

ඊට අමතරව අධීක්ෂණ කොමිටි දහයක් පත් කිරීමටත් ඉහත කාරක සභා 15ට ම තරුණ නියෝජිතයන් හතර දෙනෙක් පත් කරන ලෙස යෝජනා කරන බවත් අගමැතිවරයා සඳහන් කළේය. එයින් එක් අයෙක් යොවුන් පාර්ලිමේන්තුවෙන්ද අනිත් තුන් දෙනා විරෝධය පළ කරන කණ්ඩායම්වලින් සහ අනෙක් කණ්ඩායම්වලින් තෝරා ගන්න බවත් තෝරා ගන්නා ක්‍රමවේදය තරුණ සංවිධානවලින්ම තීරණය කළ හැකි බවත් කීය.

පාර්ලිමේන්තුවේ කටයුතු විනිවිදභාවයෙන් පවත්වා ගෙන යාමට සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් ඒ කමිටුවලට රැස්වී ප්‍රතිපත්ති වැඩසටහන් අනුව ක්‍රියා කිරීමට වාතාවරණයක් සකස් කරන බවත් අග්‍රාමාත්‍යවරයා කීය.

රටේ ප්‍රතිපත්ති කතා කළ හැකි කතානායක, අගමැති, විපක්ෂ නායක ඇතුළු ප්‍රධාන පක්ෂ නායකයන්ගෙන් යුත් ජාතික සභාව ලෙස හැඳින්වෙන කමිටුවක් යෝජනා කරන බව කී අගමැතිවරයා ඇමැති මණ්ඩලයත්, ජාතික සභාව, කාරක සභා සහ අධීක්ෂණ කාරක සභා පහළොවත් පාර්ලිමේන්තුවට වගකිව යුතු බවත් එවිට මේ හැම එකකම සම්පූර්ණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

More Stories