victor-ivon

මට පෙනෙන අන්දමට ලංකාව යහපත් ඉදිරි ගමනක් සඳහා විසඳාගත යුතුව තිබෙන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙන්නේය. සම්පූර්ණ වශයෙන් අවසන් කරගෙන නැති බංකොලොත් භාවය පිළිබඳ ප්‍රශ්නය අවසන් කරගැනීම එක ප්‍රශ්නයකි. ලංකාවේ රාජ්‍යය, දේශපාලන හා සමාජ ක්‍රමය තිබෙන්නේද උපරිම මට්ටමකට අවුල් සහගත හා ජරාජීර්න වූ තත්වයකය. ප්‍රමාද කිරීමකින් තොරව රාජ්‍යය, දේශපාලන ක්‍රමය හා සමාජ ක්‍රමය තිබෙන්නේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ වලට ලක්කොට ප්‍රතිනිර්මාණය කරගත යුතු තත්වයකය.

බංකොලොත් තත්වයකට පත්වීම නිසා ලංකාව ඇද වැටී තිබුන බිහිසුණු මහා අගාධය තරණය කිරීමට ආසන්න තත්වයක් වෙත ලඟා වීමට සමත් වී ඇතත් හොඳට හෝ නරකට එම කෙටි දුර තරණය කිරීමට පෙර ජනාධිපතිවරණයට මුහුණ දීමට රටට සිදුවී තිබේ.

ජනාධිපති මැතිවරණයෙන් පසුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග හා ණය ලබා ගෙන ඇති රටවල් 18 සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා ගිවිසුම් අඛන්ඩව ඉදිරියට ගෙනයන තත්වයක් සහතික කිරීමට ලංකාව සමත් විය යුතුය. අසමත් වෙතොත් නැවත රට මීට පෙර ඇද වැටුන මහා අගාධයට සමහර විට ඊටත් වඩා නරක තත්වයකට ඇද වැටීමේ සැබෑ අනතුරක් රට ඉදිරියේ පවතී.

2022 දෙවැනි කාර්තුවේදී එක විට දැවැන්ත අභියෝග දෙකකට මුහුණ දෙන්නට ලංකාවට සිදුවිය. ගෙවුම් ශේෂ අර්බුදය ආශ්‍රයෙන් ඇතිවූ බංකොලොත් භාවය ඉන් එක අර්බුදයක් ලෙස සැලකිය හැකිය. ඒ සමග රාජ්‍යයේ ඇතිවූ මහා බිඳ වැටීම ආශ්‍රයෙන් රාජ්‍යයේ ඇතිවූ අරාජක භාවය ලංකාවට මුහුණ දෙන්නට සිදුවුණු ඊලඟ අර්බුදය විය.

පළමු අර්බුදය සාකච්චාවට ලක්වී ඇතත් දෙවන අර්බුදය ප්‍රමාණවත් තරමින් සාකච්චාවට ලක්වී නැත. බංකොලොත් භාවය ආශ්‍රයෙන් ඇතිවී තිබුන පීඩනය මුල්කරගෙන ඇතිවූ මහජන උද්ගෝෂණ නිසා ඇමති මණ්ඩලය විසුරුවා හරින්නට සිදුවී තිබුණු අතර ඉන්පසු ඇතිවන බලවත් මහජන නැගිටීමක් නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව රටින් පලායාමට සිදුවීම නිසා ශ්‍රී ලංකා රාජ්‍යයට අරාජික වීමේ අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවී තිබුණි. ප්‍රචන්ඩ ගැටුම් ඇතිවී ආණ්ඩු පක්ෂයට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයින් විශාල පිරිසකගේ නිවාස ගිනිබත් කර තිබූ අතර අරගල කරුවන් විසින් රාජ්‍යයේ මර්මස්ථාන ගනනාවක් අල්ලාගැනීමටද සමත් වී තිබුණි.ඒ වන විට ආරක්ෂක හමුදාවල ආත්ම විස්වාසයද බිඳ වැටී ආරක්ෂක හමුදා තම වගකීම් ඉටු නොකරන තත්වයකට පත්ව තිබුනි.

එය එම අර්බුදය ජයගැනීම සඳහා සුදුසුම කෙනෙකු රාජ්‍ය නායකත්වට තෝරාගැනීම සඳහා පැවති ලිට්මස් පරීක්ෂනක් ලෙස සැලකිය හැකිය. තෝරාගන්නා නායකයා ජය ගත යුතු බිහිසුණු අභියෝග දෙකක් තිබුණි. ලංකාවේ රාජ්‍යය වෙලාගෙන තිබුන අරාජකත්වය ජය ගැනීම එක අභියෝගයකි. ගෙවුම් ශේෂ අර්බුදය ආශ්‍රයෙන් ඇතිවී තිබුණු බංකොලොත් භාවය ජය ගැනීම ඊලඟ අභියෝගය විය. විපක්ෂ නායකයා සේම ජේවීපී නායකයාද මොන මොන හේතු නිසා හෝ රාජ්‍යය නායකත්වය භාරගැනීම ප්‍රතික්ෂේප කළේය. අවසානයේ පාර්ලිමේන්තුවේ එක නියෝජනයක් පමණක් තිබුණු (ඒ වන විට ඔහුගේ නිවසද ගිනි තබා තිබුණි) රනිල් වික්‍රමසිංහ එම බිහිසුණු අභියෝග දෙකම භාර ගත්‍තේය. ඇති වී තිබුණ අරාජජත්වයේ බිහිසුනු වටාපිටාව අනුව එම වගකීම භාර ගැනීමට හැකියාව තිබිය හැක්කේ අසමාන්‍ය තරමේ නිර්භීත කමක් තිබෙන නායකයෙකුට පමණය.

රාජ්‍යය වෙලාගෙන තිබුණ බිහිසුණු අරාජකත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජයගත්තේ අරාජකත්ව වෙනුවෙන් ක්‍රියා කරන්නන් ඝාතනයට ලක්කිරීමෙන්, පැහැරගෙන ගොස් අතුරු දහන් කිරීමෙන් හෝ අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් තොරව ඔවුන්ට එරෙහිව අවම බලය පාවිච්චි කරන පිළිවෙතකිනි. නව ජනාධිපති වරයා ඉතාමත් දක්ෂ ලෙස කෙටිකාලයක් තුල බිඳ වැටෙමින් තිබූ රාජ්‍යය කිසියම් විශාල ප්‍රමාණයකට සවිමත් කොට රාජ්‍යය වෙලාගෙන තිබූ අරාජකත්වය පරාජය කළේය.

රටේ බංකොලොත් භාවය ජය ගැනීම සඳහා ඔහු IMF උපදෙස් මත ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංකරණ වැඩ සටහන සැලකිය හැක්කේද කෙටිකාලයක් තුළ රට ඇද වැටී තුබුන කාලකන්නි තත්වයෙන් රට මුදාගැනීමට සමත්වූ වැඩ සටහනක් වශයෙනි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ එම විෂයේදී ලංකාව හිමිකර ගෙන තිබෙන ජයග්‍රහනයන් ගැන කියා තිබෙන්නේ ” ශ්‍රී ලංකාවේ පුනරාගමන කථාව තරම් ශ්‍රේෂ්ඨ පුනාරාගමන කථාවක් තවත් නැති තරම් ” කියාය.

විය යුතුව තිබුන හොඳම දේ ලංකාව මුහුණ දී තිබූ බිහිසුණු අර්බුද දෙකේදී ලංකාව එම තත්වයෙන් බොහෝ දුරට මුදාගත් රනිල් වික්‍රමසිංහට නිතරඟයෙන් තේරීපත් වීමට අවස්තාවක් ලබාදීමය. එහෙත් එය එසේ නොවීම නිසා දැන් එම උභතෝකෝටික ප්‍රස්නය විසඳීමේ වගකීම භාරවී තිබෙන්නේ ජන්ද දායක ජනතාවටය. ජන්ද දායකයින්ට එහිදී කලහැකිව තිබෙන හරි දේ වනුයේ විනාශකාරී අත් හදා බැලීම්වලට නොගොස් ලොකු අර්බුද දෙකකින් බොහෝ දුරට රට මුදාගත් රනිල් වික්‍රමසිංහම ජනාධිපති තනතුරට පත් කිරීමය. ඒ මගින් ගෙවුම් ශේෂ අර්බුදය ජය ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා රටවල් 18 සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා ගිවිසුම බිඳ වැටීමකින් තොරව අඛන්ඩව ඉදිරියට ගෙන යාමේ හැකියාව රටට හිමි කර දිය හැකිය.

ඒ සඳහා රනිල් වික්‍රමසිංහගෙන් රට ඉල්ලා සිටිය යුතු සහතික වනුයේ ගෙවුම් ශේෂ අර්බුදය තර්කානුකූල අවසානයක් කරා ගෙන යනවාට අතිරේඛව විරුද්ධ පක්ෂද හා මහජනයාද ක්‍රියාකාරි ලෙස සම්බන්ධ කරගන්නා “මහජනයාට බර තබන ව්‍යවස්ථා සම්පාදනයකින් ” අවසන් වන රාජ්‍යද, දේශපාලන හා සමාජ ක්‍රමයන්ද නූතනවාදි හා වඩා ප්‍රජාතන්ත්‍රවාදී කිරීමට හේතුවන ලෙස ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට රට යොමු කරන බවට සහතික වීමය.රනිල් ගේ ප්‍රති පක්ෂ නායකයින් දෙදෙනාම තරුණ නායකයින් වන නිසා එවැනි වැඩ සටහනක් ඔවුන්ටද ලොකු හානියක් කරන්නේ නැත.

ලංකාවේ ඡන්ද දායයකයින් ලංකාව ලෙබනනයක්, බංගලි දේශයක් හෝ මාල දිවයිනක් බවට පත් නොකල යුතුය. ලංකාව බිහිසුණු අගාධයකට ඇද වැටී ආස්චර්‍යමත් ලෙස ඉන් ගොඩ ආ වාසනාවන්ත රටක් බව හා නැවත පරණ අගාධයට ඇද නොවැටී ඉදිරියට යා මේ හැකියාවක් තිබෙන රටක් බවත් තේරුම් ගත යුතුය.

වික්ටර් අයිවන් – ප්‍රවීන දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
[email protected]
වික්ටර් අයිවන් ගේ ෆේස්බුක් පිටුවෙන්…

Similar Posts