කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11 වෙනි සඳුදා සිට ආරම්භ කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

මෙම දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතුයි. සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

ආයතන විවෘත කොට පවත්වාගෙන යාමේදී කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ මුළුමනින්ම පිළිපදින බවට ආයතන ප්‍රධානින් වගබලාගත යුතුයි.

පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළයුතු වේලාව උදේ 10.00 ලෙස නියම කර තිබෙනවා.

ගමනාගමන මණ්ඩල බස්රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සදහා යනඑන අයට පමණක් සීමා කෙරේ.

අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළයුතු අය හැර සෙසු ජනයාගෙන් රෝග නිවාරණයට සහාය වනු පිණිස නිවෙස්වලම රැඳී සිටින්නැයි ඉල්ලීමක් කෙරෙනවා.

කවරකු හෝ නිවසින් බැහැර යා යුත්තේ ආහාර හා ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි.

පොලිස් බලධාරීන් විසින් නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත් වලංගුවන්නේ රියැදුරු සහ රථයේ ගමන් කරන අය මුඛ ආවරණ පැළඳ සිටින්නේනම් පමණි.

More Stories