jude
වැල්ලම්පිටිය පොලිස් වසමේ කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ සඟවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා කේරල ගංජා තොගයක් සහ මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 55 කට අධික මුදල් තොගයක්  සමග ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාල වලට සම්බන්ධ ගෝලයෙකු ලෙස සේවය කරනා පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පැවසීය.
අත්අඩංගුවට ගත්  සැකකරු සමඟ කේරළ  ගංජා කිලෝ 4 ග්‍රෑම් 60 ක් හා කේරළ ගංජා විකිණීමෙන් උපයාගත් රුපියල් 5555520.00 ක (පනස්පන් ලක්ෂ පනස්පන්දහස් පන්සිය විස්සක) මුදලක් පොලිසිය භාරයට ගත් බව අපරාධ කොට්ඨාශය පැවසීය.
 සැකකරු (24)වැනි වියේ පසුවන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවත්  දෙමටගොඩ පොලිස් වසමේ ඥානවිමල උයන මාවත මාර්ගයේ ගමන් කරමින් මත්ද්‍රව්‍ය බෙදා හරිමින් සිටින බවට ලද තොරතුරක් මත අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අපරාධ කොට්ඨාශය වෙත රැගෙනවිත්  සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී  ගංජා තොගය සහ මුදල් තොගය වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසේ සඟවා තිබියදී  සොයා  ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය.
සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන කෙසෙල්වත්තේ ධනුක නැමැත්තාගේ සමීපතම  ගෝලයෙක් වන ඩුබායි රටේ සැඟව සිටින  ජූඩ් බර්ටී නොහොත් වැල්ලම්පිටියේ බේටී නමැත්තාගෙන්  මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ  ජාලයේ ප්‍රධාන මෙහෙයුම් කරුවා ලෙස මෙම සැකකරු කටයුතු කරන බව සිදුකළ මූලික විමර්ශනවල දී හෙළි වූ බවත් කොළඹ  අපරාධ කොට්ඨාසය පැවසීය.
 සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හා පරීක්ෂණ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇනස්ලම් ද සිල්වා මහතාගේ උපදෙස් සහ මෙහෙයවීම මත අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

More Stories