ශ්‍රී ලංකාව, ජාතික හැඳුනුම්පත් පද්ධතිය සඳහා ජෛවමිතික (biometric) දත්ත සුරක්ෂිත කිරීමට ආරක්ෂාකාරී ක්‍රමයක් ලෙස ක්‍රිප්ටෝග්‍රැෆික් හැෂින් (cryptographic hashing) භාවිතා කරන්නට යන බව වාර්තා වේ. මෙහිදී දත්ත නැවත හැරවිය නොහැකි ආකාරයෙන් අහඹු අගයන්ට (random values) පරිවර්තනය කරන බව ද, මෙම ක්‍රමය භාවිතා කිරීමෙන් පරිශීලක හැඳුනුම් ආරක්ෂා කිරීමට හැකි බව ද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල සඳහන් කළේය.
ICTA අධ්‍යක්ෂ සංජය කරුණාසේන පවසන්නේ ජෛවමිතික පදනම් කරගත් මෙම ඩිජිටල් හැඳුනුම්පත් (e-NIC) භාවිතයට පෙර දැඩි පරීක්ෂණයන්ට ලක් කරන බවයි. ICTA අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ සඳහන් කළේ, පුරවැසියන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂිතව තබා ගැනීම සඳහා ආරක්ෂිත ඩිජිටල් අවකාශ (digital locker) ලබාදෙන අතර, එය ඩිජිටල් පොදු යටිතලය (DPI) සමග ඒකාබද්ධ කරන බවයි.
ශ්‍රී ලංකා රජය දැනටමත් අධි-විභේදන කැමරා සහ ඇඟිලි සලකුණු ස්කෑනර් ඇතුළු ජෛවමිතික දෘඩාංග ඒකක 350ක් මිලදී ගෙන ඇති අතර තවත් ඒකක 400ක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩරයක් ඉදිරිපත් කර ඇත.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ප්‍රංශයේ තාලස් (Thales) සමාගමෙන් පොලිකාබෝනේට් (polycarbonate) කාඩ්පත් 700,000ක් ලබාගෙන ඇති අතර, ඉදිරියේදී තව මිලියන 1.6ක් ඇණවුම් කිරීමට සැලසුම් කරයි. තාලස් සමාගම ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටා ඇති ඩිජිටල් ආරක්ෂණ සේවා සපයන සමාගමකි. මෙම ව්‍යාපෘතිය සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහාය ලබාදෙයි. e-NIC කාඩ්පත් වල ඇඟිලි සළකුණු (fingerprint), අක්ෂි කළු ඉංගිරියාව (iris) සහ මුහුණ සළකුණු (face recognition) දත්ත ඇතුළත් වන අතර, එය ශ්‍රී ලංකා විශේෂිත ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය (SL-UDI) සමග ඒකාබද්ධ වේ. e-NIC ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ICTA විසින් මෑතදී පවත්වා ඇත.
ශ්‍රී ලංකා විශේෂිත ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය (SL-UDI) සඳහා ඉන්දියාවත් ආධාර ලබාදෙයි. ව්‍යාපෘතියේ මුලු වියදමෙන් අඩකට සමීප මුදලක් ඉන්දියාව විසින් ආධාර ලෙස ලබා දෙන අතර, එය රුපියල් බිලියන 20 ක් පමණ වේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම ව්‍යාපෘතිය වේගවත් කිරීම පිළිබඳ පසුගියදා සාකච්ඡා කළහ. එමෙන්ම, ඉන්දියාවේ ඒකාබද්ධ ගෙවීම් අතුරුමුහුණත (UPI) ශ්‍රී ලංකාවට ද පුළුල් කිරීමට යෝජනා වී ඇති අතර, එය ආරක්ෂිත ඩිජිටල් ගනුදෙනු සඳහා පහසුකම් සලසයි.
මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව දැනටමත් රුපියල් බිලියන පහකට වඩා වියදම් කර ඇත.
ජාතික ජන බලවේග රජය විසින් ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව සමඟ ඇති කරගත් ගිවිසුම සංශෝධනය කර පූර්ණ දේශීය පාලනය සහතික කර ඇති බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේය. 2020 සිට ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වී සිටින ඉන්දියානු ලාභ නොලබන වේදිකා සැපයුම්කරුවෙකු වන MOSIP (මොඩියුලර් විවෘත-මූලාශ්‍ර හඳුනාගැනීමේ වේදිකාව) සහාය ඇතිව මෙම ව්‍යාපෘතිය සංවර්ධනය වෙමින් පවතී. ඉන්දියානු හවුල්කරුවන් ව්‍යාපෘති සංවර්ධනය සහ මෘදුකාංග රටට යෝග්‍ය අන්දමින් සැකසීම සඳහා සහාය වන අතර, සංශෝධිත ගිවිසුම මඟින් ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට පිවිසුම්, දත්ත සමුදා කළමනාකරණය සහ මෘදුකාංග යාවත්කාලීන කිරීම් ඇතුළුව පද්ධතිය මත 100% පාලනයක් ඇති බව සහතික කරන බව වීරරත්න අවධාරණය කළේය. දත්ත ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සහ ඩිජිටල් හැඳුනුම්පත් වේදිකාව මත ජාතික පාලනය ශක්තිමත් කිරීම සඳහා මෙම වෙනස්කම් සිදු කර ඇත.
කෙසේ වුවද, පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමේ අභියෝග පිළිබඳ අදහස් ඉදිරිපත් වී ඇති අතර, ශ්‍රී ලංකා රජය සඳහන් කරන්නේ ඉන්දියාව ඇතුළු කිසිදු විදේශීය ආයතනයකට ශ්‍රී ලංකා පුරවැසියන්ගේ පෞද්ගලික දත්ත වෙත ප්‍රවේශය ලබා නොදෙන බවයි.
(මූලාශ්‍ර: Biometric Update, Business Standard, Sunday Times)