IMF එකෙන් ලැබුණ ණය පහසුකම නරකයි කියලා කවුරු හරි කියනවා නම් එහෙම කියන්න පුළුවන් අන්ත ම කුහකයෙකුට හෝ වාමාංශික වළිප්පුකාරයෙකුට පමණයි.
ඒ වගේ ම IMF ලැබුණට පස්සෙ රටේ හැම හැම ප්‍රශ්නයක් ම විසඳිලා කේතුමතී රජදහන පහළ වෙනවා වගේ කතාවක් කියන්න පුළුවනුත් ඒ හා සමාන මුග්ධයෙකුට ම පමණයි.
මේ දිහා අප බැලිය යුත්තේ ඉතා ම මැදහත් ස්ථාවරයක ඉඳලයි.
ලංකාව වැටිලා තිබුණ වළේ හැටියට IMF පහසුකම නැතුව ලංකාවට මේ අර්බුදයෙන් එළියට ඒමක් ගැන හිතන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. බැරි වෙලාවත් ඊයේ පැවැත්වුණු IMF විධායක මණ්ඩලයෙන් ලංකාවේ ණය පහසුකම අනුමත නොවුණා නම් තව කාලයකින් ලංකාවට මුහුණ දෙන්න වෙන අර්බුදය ඉතා ම දරුණු එකක්.
ඒකත් එක්ක ගිය අවුරුද්දේ මාර්තු-අප්‍රේල් කාලයේ මුහුණ දෙන්න සිද්ධ වුණු අර්බුදය නිකම් පොඩි ළමයින් විනෝදයට කරන සෙල්ලමක් වගේ එකක් කියලා ඔබට හිතෙයි.
එහෙම අර්බුදයක් ඇතිවෙනකල් බලාගෙන ඉඳලා, මේ රටේ ලේ ගංගාවක් ගලා යන්න ඉඩ සලස්වලා, ඒ මතින් බලයට එන්න බලාගෙන ඉන්න දේශපාලන මළපෙරේතයෙකු නොවන කිසිම කෙනෙකුට එහෙම තත්ත්වයක් උදාවෙනකල් බලාගෙන ඉන්න බැහැ.
ඊයේ අනුමත වුණු IMF පහසුකම වැදගත් වෙන්නේ ඒ සන්දර්භය ඇතුළෙයි.
මේක ලංකාවේ හුඟ දෙනෙකුට තේරෙන්නේ තවත් ණයක් විදියට විතරයි. ඒ කියන්නේ ඩොලර් බිලියන 53ක් ගෙවන්න බැරුව තියෙද්දි තවත් ඩොලර් බිලියන 3ක ණයක් අලුතින් ලැබුණම තවත් ණය බර වැඩිවෙනවා නේද වගේ ප්‍රශ්න මේ වෙලාවේ අහන මිනිස්සු හුඟක් ඉන්නවා.
මම කියන්නේ ලංකාව වගේ ලියන කියවන කොතරම් සාක්ෂරතාව තිබුණත්, ලෝක බුද්ධි සඵලතා දර්ශකයේ (World IQ index) සෑහෙන පහළින් තියෙන රටක ඔයිට වඩා වෙනස් ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න බැහැ.
ඒක හරියට රජයේ සේවකයෝ වැඩ වර්ජනය කළාම දවසකට රුපියල් කෝටි 500ක් පාඩු නම්, රජයේ සේවකයෝ වැඩ කළා ම දවසට රුපියල් කෝටි 500ක් ලාභයි නේද කියලා කවුරුහරි ඔල්මාදකාරයෙක් ඇහුවා වගේ කතාවක්.
ලංකාවේ ප්‍රශ්නය තියෙන්නේ ණය තිරසරභාවයේ ප්‍රශ්නය මිස සංඛ්‍යාත්මකව තියෙන ණය ප්‍රමාණයේ ප්‍රශ්නයක් නොවේ. ණය ගෙවන්න පුළුවන් නම් රටක් ණය ගන්න එක ප්‍රශ්නයක් නැහැ. වර්තමාන ලෝකයේ ණය ගන්නේ නැතුව දුවන රටවල් තිය විශාල වාණිජ ව්‍යාපාරවත් නැහැ. ලංකාවේ ලොකු ම ප්‍රශ්නය වුණේ ණය තිරසරභාවය අහිමි වීමයි.
IMF එකඟතාව වැදගත් වන්නේ ඒක ණය තිරසරභාවය ගැන ලබාදෙන ලෝකය පිළිගත් සහතිකයක් වන නිසයි.. විශේෂයෙන් ම ණය ප්‍රතිව්‍යුහගතකරණයට පහුගිය කාලයේ IMF එක මේ තරම් ලොකු බරක් තැබුවේ ඒ නිසයි.
ඒත් මේකෙන් පස්සේ මුහුණ දෙන්න වෙන ලොකු ම අභියෝගය වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයයි. ඒක ඇතුළෙ ලංකාවේ බැංකු පද්ධතිය විශාල පීඩනයකට මුහුණ දෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒක කළමනාකරණය කරගනිමින් මේ අභියෝගය ජයගන්න එක අතිශයින් ම අමාරු කාර්‍යයක්.
ඊට අමතරව රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය, ස්වාධීන මහ බැංකුවක් ස්ථාපිත කිරීම, නව දූෂණ මර්දන පනතක් ගෙන ඒම, රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීම ඇතුළු තවත් වෙනස්කම් රාශියක් කරන්න සිදුවෙනවා. මේවා කිසි එකක් ලෙහෙසියෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි.
ඒ වගේ ම මේකත් එක්ක දැන් අපිට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, JICA වැනි දොරටු නැවත විවෘත කරගන්න පුළුවන්. රට බංකොළොත් වුණාට පස්සේ ඒ හැම දොරක් ම අපට වැහිලා ගියා. IMF පහසුකමේ විශේෂත්වය වන්නේ ඒකේ පළමු වාරිකයට හම්බ වෙන ඩොලර් මිලියන 330 නොව රට බංකොළොත්භාවය ප්‍රකාශ වුණාට පස්සේ අපට වැහිලා ගිය මේ දොරවල් නැවත විවෘත වීමයි.
රසික ජයකොඩි