පොලොන්නරුව මධ්‍යම සංස්කෘතික ත්‍රිකෝණයට අයත් කෞතුකාගාරය අසල භූමිය තුළ ආපන ශාලාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට අදාළ ටෙන්ඩර් කාලසීමාව ඉක්මවා ගොස් ඇතැයි කියමින් ඉන් ඉවත්ව යන ලෙස දැන්වීම හේතුවෙන් අසරණ වූ පුද්ගලයෙකු එම ස්ථානයේ තල් ගසක් මතට නැග ඊයේ (30) පෙරවරුවේ උපවාසයක් ආරම්භ කර ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.
මෙසේ උපවාසයක් ආරම්භ කර ඇත්තේ කදුරුවෙල පැරකුම් පෙදෙස,අංක 379/11 හි පදිංචි සර් ලි චානක හේවගේ(38) නම් තිදරු පියෙකි. විරෝධතාකරු තල් ගසෙන් බැස්සවීමට පොලිසිය උත්සාහ ගත්තද විරෝධතාකරු ඊට එකග නොවුනු බව පොලිසිය වැඩි දුරටත් කියයි.
මෙම උපවාස්ය පැය 8ක් තිස්සේ ක්‍රියාත්මක කරමින් සිටියත් බලධාරින් කිසිවෙකු තමන්ට සාධාරණ පිළිතුරක් ලබා දීමට අපොහොසත් වීම නිසා තමන් උපවාසය අත් නොහරින බවද විරෝධතාකරු පවසයි.
විරෝධතාකරු පවසන්නේ පාස්කු ප්‍රහාරයට පෙර ටෙන්ඩර් මගින් තමන්ට වසරක කාලයකට ලබා දුන් පොලොන්නරුව කෞතුකාගාරය අසල ආපනශාලාවෙන් ඉවත් වීමට කියන බවත් පාස්කු ප්‍රහාරය නිසා ආපනශාලාව මාස 4ක් ද කොරෝනා නිසා මාස 4 ක් ද වසා තැබීමත් ආපන ශාලාව පිළිසකර කර දීමට මාස 2ක් පමණ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරින් කාලය මිඩංගු කළ බවත් ය.
ඒ අනුව තමන්ට ආපනශාලාව මාසයක්වත් පවත්වාගෙන යාමට නොහැකි වූ බවත් තමන් ඒ වෙනුවෙන් දරුවන්ගේ කණකර අබරණ උගස් කොට ණය පහසුකම් ලබාගෙන ආපනාශාලාව පවත්වාගෙන යන්නට කටයුතු කළත් කිසිදු ආදායමක් ලැබීමට නොහැකි වූ බව ද උපවාසකරු කියයි.
ආපන ශාලාව හදිසියේ තමන්ගෙන් ඉවත් කිරීමට හේතුවත් ආපනශාලාව ලබා දීම වෙනුවෙන් නිලධාරින් අල්ලස් ලබා ගැනීම අල්ලස් හෝ දූෂණ නිලධාරින්ගේ අතටම හසු කර දුන් නිසා බව ද පවසයි.
රුපියල් 22000ක මාසික කුලියක් ගෙවීමට නියමිත බවත් පසුගිය මාස ගණනාවෙම සංචාරකයින් නොපැමිණීම නිසා ගෙවීම් කිරීමට ද නොහැකි වූ බවත් හෙතෙම වැඩි දුරටත් පවසයි .
තමන් ඉල්ලා සිටින්නේ සහරාන්ගේ බෝම්බ සිදිධිය නිසා සංචාරකයින්ගේ පැමිණීම අඩාල වූ මාස 4ක කාලයත් කොරෝනා නිසා වසා දැමුණු මාස 4 ක කාලයත් තමන්ට සහනයක් ලෙස ලබා දෙන ලෙසත් ඒ වෙනුවට ඉදිරි මාස 8ක් වත් තමන්ට ආපනශාලාව ලබා දෙන ලෙසත් ය.
කෙසේ වෙතත් මේ පිළිබදව විමසීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොලොන්නරුව කාර්යාලයේ නිලධාරියෙකු ගෙන් විම්මසීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක විය.පින්තූරවල දැක්වෙන්නේ විරෝධතාකරු තල් ගස උඩ විරෝධතාවයේ යෙදෙන අන්දමයි.
ඊසා මුදියන්සේ – පොලොන්නරුව