curfew

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් දිස්ත්‍රික් 18ක පැවති ඇඳිරි නීති තත්ත්වය මේ වනවිට ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, කෑගල්ල, අම්පාර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳීරි නීතිය අද පෙරවරු 5.00 ට ඉවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කෙසේ වෙතත්, මෙම දිස්ත්‍රික්කවල ඉවත් කළ ඇදිරි නීතිය අද රාත්‍රී 8.00ට යළි පනවනු ඇති.

ඉන්පසු නැවත දැනුම් දෙනතුරු එම දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8.00 සිට පසු දා අලුයම 5.00 දක්වා පමණයි.

මේ අතර, මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල අලවතුගොඩ, අකුරණ, වරකපොළ සහ අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශවලට ඇදිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වනවා.

මෙම දිස්ත්‍රික්ක තුනට අයත් සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇදිරි නීතිය අද උදෑසන 5.00 ට ඉවත් කළ අතර, එය යළි රාත්‍රී 8.00ට බලාත්මක වනු ඇති.

මේ අතර, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම දිස්ත්‍රික්කවලද ඇතැම් පොලිස් බල ප්‍රදේශවලට ඇදිරි නීතිය අප්‍රේල් 22 වැනි බදාදා උදෑසන 5.00 ට ඉවත් කර යළි රාත්‍රී 8.00 ට ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කොළඹ දිස්ත්‍රික්කයට අයත් කොටහේන, ග්‍රෑන්ඞ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත, මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල සහ කොහුවල යන පොලිස් බල ප්‍රදේශවලට ඇදිරි නීතිය නැවත දැනුම් දෙනතුරු බලාත්මක වනවා.

මෙම පොලිස් බල ප්‍රදේශ හැර කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි සෙසු පොලිස් බල ප්‍රදේශවලටයි ඇදිරි නීතිය අප්‍රේල් 22 වැනි බදාදා උදෑසන 5.00 ට ඉවත් කරනු ලබන්නේ.

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ජාඇල, කොච්චිකඬේ සහ සීදුව යන පොලිස් බල ප්‍රදේශවලට ඇදිරි නීතිය නැවත දැනුම් දෙනතුරු බලාත්මක අතර, එම දිස්ත්‍රික්කයට අයත් සෙසු පොලිස් බල ප්‍රදේශවලට ඇදිරි නීතිය ලබන බදාදා ඉවත් වනවා.

එමෙන්ම, පුත්තලම දිස්ත්‍රික්කයට අයත් පුත්තලම, මාරවිල, වෙන්නප්පුව යන පොලිස් බල ප්‍රදේශවලටද ඇදිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි.

එම දිස්ත්‍රික්කයේ සෙසු පොලිස් බල ප්‍රදේශවලට ඇදිරි නීතිය අප්‍රේල් 22 වැනි බදාදා උදෑසන 5.00 ට ඉවත් කෙරෙනවා.

කළුතර දිස්ත්‍රික්කයට අයත් බණ්ඩාරගම, පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලට ඇදිරි නීතිය ඉවත් නොකෙරෙන අතර, සෙසු පොලිස් බල ප්‍රදේශවලට අප්‍රේල් 22 වැනිදා උදෑසන 5.00 ට ඇදිරි නීතිය ඉවත් වනු ඇති.

More Stories