train-strike

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගීන් දැඩි පිඩාවට පත්ව තිබේ.

මෙම සංකේත වර්ජනය හේතුවෙන් අද දින ධාවනය වීමට තිබූ කාර්යාල දුම්රිය ගමන්වාර 5ක් අවලංගු කර ඇති බවත් එමගින් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

නානුඔය සිට මහනුවර දක්වා සහ කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය අද ධාවනය නොවන බවත් ගනේවත්ත සිට කොළඹ කොටුව සහ පානදුර දක්වා පෙ.ව 3.55ට ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය අද ධාවනය නොවන බවද සදහන් කරයි.

තවද පෙ.ව 7.00ට කොටුව සිට මීගමුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද ධාවනය නොවන අතර පෙ.ව 9.00ට මීගමුවේ සිට කොටුව දක්වා ධාවනය වන දුම්රියද අවලංගු කර ඇත.

පෙ.ව 4.30ට පුත්තලම සිට ගල්කිස්ස දක්වා ධාවනය වීමට නියමිතව තිබූ සීඝ්‍රගාමී දුම්රිය ධාවනය නොවන අතර පෙ.ව 6.30ට අවිස්සාවේල්ල සිට කොටුව දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවන බව සදහන් කරයි.

කෙසේවෙතත් කාර්යාල දුම්රිය 35 ක් පෙරවරුවේ ධාවයන කිරීමට කටයුතු යොදා ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉඳිපොළගේ පැවසුවේ.

සෑම දුම්රිය මාර්ගයක්ම ආවරණය වන පරිදි කාර්යාල දුම්රිය කිහිපයක් හෝ ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවද ඔහු සඳහන් කරයි.

More Stories