දෙහිවල සත්වෝද්‍යානයේ සිට මහා පරිමාණයේ කුඩු ජාවාරමේ යෙදුන එහි සේවකයෙක් ඇතුලූ පුද්ගලයින් සිව් දෙනෙක් රුපියල් ලක්ෂ 70 ක හෙරොයින් හා විදේශිය නිෂ්පාදිත පිස්තෝලයක්, මෝටර් රථයක් සමගින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් ඊයේ (16) රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම් අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඔවුන් ඊයේ සවස දෙහිවලදි හෙරොයින් ග‍්‍රෑම් 100 ක් සමගින් බඩෝවිටදි අත්අඩංගුවට ගන්නා ලදි.

ඔහුගෙන් කරන ලද ප‍්‍රශ්න කිරිම් වලදි දෙහිවල, කවුඩාන ප‍්‍රදේශයේදි තවත් පුද්ගලයෙකු හෙරොයින ග‍්‍රෑම් 100 ක් සමග අත්අඩංගුවට පත්ව ඇත. කලූබෝවිල පදිංචි මොහු දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයෙකු ලෙස කටයුතු කරනු ලබන අතර පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් සත්වෝද්‍යානය තුලට ගොස් පරික්ෂා කිරිමේදි ඔහුගේ පුද්ගලික ලොකරය තුලද හෙරොයින් ග‍්‍රෑම් 400 ක් සොයා ගෙන තිබේ. මොහු දිර්ඝ කාලයක සිට සත්ව උද්‍යානය තුල සිට හෙරොයින් ජාවාරමේ යෙදි සිට ඇති බව හෙළිව තිබේ.

මොහුගෙන් තවදුරටත් සිදුකළ ප‍්‍රශ්න කිරිම් වලදි තවත් පුද්ගලයින් දෙදෙනෙකු කටුබැද්ද ප‍්‍රදේශයේදි සුඛෝපභෝගි මොටර් රථයක්, නවීන පන්නයේ පිස්තෝලයක් හා හෙරොයින් ග‍්‍රෑම් 15 ක් සමග අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

මෙම මෝටර් රථය කුලී පදනම මත ලබා ගත් එකක් වන අතර මෙම මහා පරිමාණයේ හෙරොයින් ජාවාරම වැලිකඩ බන්ධනාගාරයේ සිටින අධිකාරිගේ සමන්ත පෙරේරා නැමැත්තා විසින් මෙහෙයවන ලද්දක් බවට සිදුකල මුලික පරික්ෂණ වලදි හෙලිව ඇත. පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් වැඩිදුර විමර්ශන පවත්වයි.

ශානි පොල්ගම්පල

More Stories