දෙණියාය, මොරවක, පිටබැද්දර, අකුරැස්ස ප්‍රදේශවලට ඇඳහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් නැවත ගංවතුර තත්ත්වයක් මතු වී ඇත.

පානදුගම ජල මාපකය ඊයේ (12)  වන විට 6.92ක් ලෙස දර්ශනය වන අතර පිටාර මට්ටම 6.40කි. අකුරැස්ස, අතුරලිය,කද්දුව,මාලිම්බඩ,කඹුරුපිටිය, බංගම,සියඹලාගොඩ, මාකඳුර, දෙදියගල ආදි මාර්ග සියල්ල ජලයෙන් යට වී තිබේ. සියලු ගමනාගමන කටයුතු ඇනහිට තිබේ. මගී බස් රථ ධාවනය නොවන අතර වෙනත් රථ වාහන අතුරු කැලෑබද මාර්ගවලින් ගමන් කරනු ලැබේ.

අකුරැස්ස, මාතර ප්‍රධාන මාර්ගයේද පරදුව ප්‍රදේශයේ ඇතැම් ස්ථාන ජලයෙන් යට වී තිබේ. පස් කඳු කඩා වැටීම් ද තැනින් තැන සිදු වන බව වාර්තා වේ.

අද (13) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ බව දැනුම්දෙයි.

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකිය.

බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් පවතී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

More Stories