අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා , නිසි අවසරයිකින් තොරව රටින් පිටවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා දෙන්නැයි පොලිස් මුලස්ථානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරී කළ පොලිස් පරික්ෂක නිශාන්තද සිල්වා මහතා ඇතුලු දරු පවුල  ඊයේ(24) දිනයේ දී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් විදෙස් ගත වී තිබුණි. මෙම පොලිස් පරීක්ෂකවරයා විදේස්ගතව ඇත්තේ කිසිදු අනුමැතියකින් තොරව බැවින් මෙම නිලධාරියා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස් මුලස්ථානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත අද(25) දැනුම් දී ඇත.

මොහු පසුගිය වසර 4 ක පමණ කාලය තුළ සිදුකළ විමර්ශනයක් පක්ෂග්‍රාහීව සහ අයුක්තිසහගත ලෙස සිදු කළ බවට නොයෙකුත් පාර්ශවයන්ගෙන් ඔහුට එරෙහිව යම් යම් දෝෂාරෝපණ එල්ල වී ඇති බවද පොලීසිය පවසයි. මෙවැනි තත්ත්වයක් තුළ මෙම නිලධාරියා විදෙස් ගත වී ඇති බවත් පොලිසීය මොහුට  විරුද්ධව කිසිදු ආකාරයක විමර්ශනයක් හෝ විනය ක්‍රියාමාර්ගයක් මේ දක්වා ආරම්භ කර නොමැති අවස්ථාවක ඔහු මෙලෙස විදෙස් ගතව ඇතැයි ද පෙන්වා දෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක, විශේෂ විමර්ශන කිහිපයක් බාරව සිටි ස්ථානාධිපතිවරයෙක් මෙලෙස කිසිදු අවසරයකින් තොරව විදෙස් ගත වීම බරපතළ ගැටළුවක් බවද  මෙය විනය විරෝධී ක්‍රියාවක් බැවින් පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලීසිය පවසයි.

More Stories