weather

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද ( 25) අලුයම සිට ගිගුරුම් සහිත තද වැසි ඇදහැළෙන බව පවසයි.

පවතින වර්ෂාවත් සමග ප්‍රදේශය පුරා අඳුරු ස්භාවයක් පවතින අතර, වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයත්, හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයත්, සෙසු මාර්ගත් ලිස්සන සුළු බැවින් එම මාර්ගවල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර, අධික වර්ෂාවත් සමග කොළඹ නගරය ඇතුළු තවත් ප්‍රදේශ ද අඳුරු ස්භාවයක් ගෙන තිබේ.

පල්ලේපොළ ප්‍රදේශයට ඊයේ (24) දින රාත්‍රියේ සිට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් පල්ලේපොළ ඔය පිටාර ගලා, කිනිගම ප්‍රදේශයේ කුඹුරු ජලයෙන් යට වී ඇත.

මේ අතර, දැදුරුඔයේ වාන් දොරටු හයක් විවෘත කර ඇති බැවින් පුත්තලම සහ හලාවත ප්‍රදේශවල ඒ ආශ්‍රිතව ජීවත්වන දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

දැදුරු ඔයේ ඉහළ ප්‍රදේශවලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ලැබීම හේතුවෙන් එමගින් නිකුත් කෙරෙන ජලධාරිතාව තවදුරටත් ඉහළ යනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

එමෙන් ම, රාජාංගණය ජලාශයේ ද වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර යාන් ඔය සුළු වශයෙන් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර අධික වර්ෂාවත් සමග මහනුවර දුම්රිය ස්ථානය සම්පූර්ණයෙන් ජලයෙන් යට වී ඇත.

පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතරක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.

එම ප්‍රදේශයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්‍ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

More Stories