විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි වුවද නියමිත ප්‍රමිතියට අනුකූලව පවත්වාගෙන නොයන උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට ඇතුළත් කර නොගැනීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ ප්‍රමිතියට නොමැති ආයතන සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත කළ නිරීක්ෂණවලින් පසුව ය. ලියාපදිංචි ඇතැම් ආයතන අධ්‍යයන කටයුතුවලට ප්‍රමාණවත් පහසුකම් සැපයීමට අසමත්ව ඇති බවත් එම අවශ්‍යතා සපුරන ලෙසට වරින් වර කළ දැනුම් දීම් නොතකා හරිමින් කටයුතු කර තිබෙන බවත් මේ වන විට අනාවරණය වී තිබේ.

කුලී පදනම මත ආරම්භ කරන එම ආයතන වසර පහක කාලයක දී තමන්ට අයත් පරිශ්‍රයක ස්ථාපිත කිරීම අනිවාර්ය වන නමුත් ඇතැම් ආයතන එම ඉලක්කය සපුරා ගැනීම කෙරෙහි අවධානයක් හෝ නොමැති ආයතන පුළුල් කිරීමේ දී අමාත්‍යාංශ අනුමැතිය ලබා ගැනීමේ කොන්දේසිය නොසලකා හරින බවත් අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය.

මෙම තත්ත්වය මත අලුතින් ආරම්භ කෙරෙන උසස් අධ්‍යාපන ආයතනවල ගොඩනැගිලි වපසරිය වර්ග අඩි පනස් දහසක් විය යුතු බවට වන කොන්දේසියක් හඳුන්වා දීමට ද අමාත්‍යාංශය සූදානම් වෙයි. එසේ නොමැති වුවහොත් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ගෙවා අවම පහසුකම් හෝ නොමැතිව සිසුන්ට අධ්‍යයන කටයුතු කරගෙන යාමට සිදු වීම නොවැළැක්විය හැකි බවත් එවන් අසාධාරණයකට ලක් වීමට සිසුන්ට ඉඩ නොදෙන බවත් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ දක්වා රුපියල් ලක්ෂ අටක් වූ පොලී රහිත ශිෂ්‍ය ණය මුදල මෙම වසරේ සිට රුපියල් ලක්ෂ දහයක් දක්වා වැඩි කිරීමට ද නියමිත අතර මේ නිසා එම ණය යෝජනා ක්‍රමයට සිසුන් වැඩි පිරිසක් මෙවර ඇතුළත් වනු ඇති බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මෙම ණය යෝජනා ක්‍රමයට මේ වන විට ඇතුළත්ව ඇති ආයතන සංඛ්‍යාව 17ක් වන අතර තවත් ආයතන කිහිපයක්ම අලුතින් ඇතුළත් වීමට අමාත්‍යාංශයෙන් අවස්ථාව ඉල්ලා තිබේ.

Similar Posts