ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තම ගැටළු විසදාගත හැකි නීතිමය තත්වයක් උදාකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ වෙනුවෙන් මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කිරීමට නියමිතයි.

එම කොමිසමේ සේවා ගිවිසුම් පිළිබද සොයා බැලීම හා එහි බලතල ලබාදීම පිළිබද ඉදිරි නව පාර්ලිමේන්තුව යටතේ අවධානය යොමු කෙරේ. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ ප්‍රාදේශීය මාධ්‍යෙව්දීන් ඇගයීම වෙනුවෙන් බත්තරමුල්ලේ පැවති ගෞරවාර්ථ හරසර වැඩසටහනට එක්වෙමිනි. රටවටා මාධ්‍යවේදියෝ සංවිධානය මෙය සංවිධාන කළේය.

රටේ ආර්ථිකය ස්ථාවරව ඉදිරියට ගෙනයාමට නම් වගකිව යුතු පක්ෂවලින් සමන්විත නව දේශපාලන ක්‍රමයක් නිර්මාණය කළයුතුය. මැතිවරණ කල්දැමීමට තමාට කිසි දිනෙක අවශ්‍යතාවයක් නොතිබු බව ජනාධිපතිවරයා සිහිපත් කළේය. රටේ ඉදිරි ගමන තීරණය කිරීමේ වගකීම මෙවර ජනාධිපතිවරණයේදී ජනතාවට හිමිවෙයි. පුවත්පත් මණ්ඩලය වෙනුවට මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කිරීමට යෝජනා ඉදිරිපත් වී ඇත. ප්‍රාදේශීය මාධ්‍යෙව්දීන් රැකියා ගිවිසුමක නොව සාමාන්‍ය ගිවිසුමක සිටින බව පැවසූ ජනාධිපතිවරයා එබැවින් එම මාධ්‍යෙව්දීන්ගේ පැමිණිලි පිළිබද සොයාබැලීමට බලතල අවශ්‍ය බව ස‍දහන් කළේය.

මෙහිදි අදහස් දැක්වූ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා රටේ දියුණුව වෙනුවෙන් මාධ්‍යවේදීන් සිදුකළ කාර්යභාරය අගය කළේය. පසුගිය කාලයේ ශ්‍රී ලංකාව මුහුණදුන් භයානක තත්වය වර්තමානයේ බංග්ලාදේශයේ නිර්මාණය වී තිබේ. නමුත් මෙරට පැවති අරගල එක් තුවක්කුවක් හෝ භාවිත නොකර පාලනය කිරීමට වත්මන් ජනාධිපතිවරයාට හැකිවූ බව අමාත්‍යවරයා සදහන් කළේය.

Similar Posts