අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පිහිටි ප්‍රධාන පෙලේ ආදර්ශ ප්‍රාථමික පාසලක ඉගෙනුම ලබමින් ලබන මස ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිය පුත්‍රයාට අමානුෂික ⁣ලෙස පහරදුන් ගුරුවරයාට පොලිසිය දැඩි ලෙස අවවාද කර තිබියදීත් නැවතත් ගුරුවරයා විසින් පුත්‍රයාට සිසුන් පිරිසක් යොදවා පහරදුන් අවිනීත ගුරුවරයා සම්බන්ධයෙන් පරික්ෂනයක් ඉල්ලා ඔහුගේ පියා (16දා) උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මියට හා ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

පහර කෑමට ලක්වූ සිය පුත්‍රයාට ගුරුවරයාගේ අමතර පන්තියට සහභාගි නොවීම  මුල් කරගෙන උදරය අභ්‍යන්තරයට හානි වන අයුරින් මීට පෙර පහර දී තිබූ බවත් ගුරුවරයා ගේ පහර දීම හේතුවෙන් පන්තියේ ඉගෙනුම ලබන දරුවන් කිහිප දෙනෙකුම පාසල් යාම ප්‍රතික්ෂේප කරන බවත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට පාසලේදී හානියක් වේ යැයි බියෙන් අගතියට පත් සෙසු දරුවන්ගේ දෙමාපියන් පැමිණිලි  ඉදිරිපත් නොකරන බව පියා පැවසීය.

ගුරුවරයාගේ පහත් ක්‍රියාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ පහර කෑමට ලක්වූ දරුවාගේ පියා වන යුද හමුදාවේ සේවයේ නියුතු ටී.එම් .පී.කේ දිසානායක මහතා.පසුගිය අටවනදා මගේ දරුවා පාසල් යාමට සූදානම් වන අවස්ථාවේදී අමාරුවෙන් ඇවිදිනවා බිරිද විසින් දැක තිබෙනවා. පසුව  බලන විට දරුවාගේ බඩ ඉදිමිලා තිබෙන බව දැකලා ඒ පිළිබඳව විමසීමේ දී ගුරුවරයා බඩ මිරිකා පෙකනියෙන් කරකවා අඩි රූලකින් ඇන පහර දුන් බව දරුවා මගේ බිරිදට පවසා තිබුණා.

පසුව දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබා ගත්තා.අනුරාධපුර රෝහල් පොලිස් නිලධාරීන් පැමිණ දරුවාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණා.

දින දෙකකින් ටිකට් කැපූ පසු යළි අසනීප වූ නිසා සවස දරුවා අනුරාධපුර පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ස්කෑන් පරීක්ෂණයක් සිදු කළා. එහිදී අනාවරණය වුණා උදර අභ්‍යන්තරයට පහරදීමෙන් හානි සිදුව තිබෙන බව.

පසුව අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණෙන ලෙස කළ දැනුම් දීමකින් පසුව අනුරාධපුර පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.ගුරුවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නවද කියලා පොලිසිය ඇසුවා.දවසක් හරි දරුවාට උගන්නපු ගුරුවරයා නිසා ඊට එරෙහිව නඩු දමන්නේ නැතුව පොලිසියෙදී සමතයකට පත් වුණා. එහෙත් මේ ගුරුවරයා දරුවාගේ සුව දුක්  විමසුවේ වත් නැහැ.

‍පසුව මම විදුහල්පතිවරයාගෙන් වෙනත් ගුරුවරයකුගේ පන්තියට දරුවා මාරු කර දෙන ලෙස ඉල්ලීමක් කලා.ඉන් අනතුරුව වෙනත් ගුරුවරයකු ගේ පන්තියකට පුතාව මාරු කලා.පසුව යළිත් වරක් මීට පෙර පහරදුන් ගුරුවරයා විසින් වෙනත් දරුවන් හතර දෙනෙකු  එම පංතියට යවා මගේ දරුවාට පහර දීමක් සිදු කරවල තිබෙනවා.

දැන් දරුවා පාසල් යන්න බැහැ කියනවා.මේ සම්බන්ධයෙන් නැවත වරක් පොලිසියට පැමිණිලි කළා.පාසලේ විදුහල්පතිවරයා කිව්වා සිද්ධිය ඉහළට පැමිණිලි කළොත් දරුවාව පාසලෙන් අස් කරනවා කියලා.පහුගිය මැතිවරණයෙදි දේශපාලඥයෙකුට වැඩ කරලා දැන් ඒ හයිය පෙන්නනවා.

මම ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ පාසලේ තවත් දරුවන් මේ ගුරුවරයාගේ පහර කෑම් වලට ලක්වනවා.මෙවර  විභාගයට පෙනී සිටින දරුවන්ගේ අධ්‍යාපනය මුළුමනින්ම කඩා කප්පල්වීමට මත්තෙන් සාධාරණයක් ඉෂ්ඨ කරලා දෙන්න කියලා ඉල්ලනවා.

මහේෂ් විජේසූරිය – අනුරාධපුර

More Stories