slparli

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ දැමීම සඳහා නව පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් අදාළ පනත් කෙටුම්පත් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් වී ඇති අතර එමඟින් සෑම පිළිගත් දේශපාලන පක්ෂයකම කාන්තා නියෝජනය සියයට 30කට නොඅඩු ප්‍රතිශතයක් ඇතුළත් කිරීම සඳහා යෝජනා කර තිබේ.

ඊට අමතරව විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා නම් කරනු ලබන ජාතික ලැයිස්තුවට සියයට 50කට නොඅඩු කාන්තා සාමාජිකයින් සංඛ්‍යාවක් ඇතුළත් කළ යුතු බවට වූ යෝජනාවක් පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති බව සඳහන්ය.

දේශපාලන පක්ෂවලින් කාන්තා නියෝජනය ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ඉල්ලීම් කළ ද ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් අදාළ ඉල්ලීම නීතියක් ලෙස ගෙනඒමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

Similar Posts