pusari

ප්‍රේම සබඳතාවක් දුරදිග යාවි යැයි බියෙන් මවක විසින් දෙවි පිහිට පතා රැගෙන ගිය සිය පහළොස් වියැති දැරියට කෝවිලේ පූසාරියා දෙවොලේ අභ්‍යන්තර කුටියකදී දින දෙකක් බරපතළ ලිංගික අපයෝජනයන් සිදුකොට ඇතැයි දැරියගේ ප්‍රකාශවලින් අනාවරණයවූ බව කුලියාපිටිය පොලිසිය කියයි.

කුලියාපිටිය බෝහිංගමුව ප්‍රදේශයේ කෝවිලක පූසාරියකු විසින් එසේ දැරිය අපයෝජනය කළැයි සැක කෙරෙන අතර මේ වනවිට සැකකරු කෝවිලට අඟුලු දමා ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයිද පොලිසිය කියයි.

සම වයසේ පිරිමි දරුවකු සමගින් තම දියණිය සබඳතාවක් පවත්වන බවත් දැරියගේ අධ්‍යාපනය ඒ මගින් අඩාළ වන බවත් කියමින් දැරියගේ මව විසින් කුලියාපිටිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට කර තිබූ පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයේදී දැරියගේ ප්‍රකාශ අනුව අදාළ කරුණු හෙළිව තිබිණ.

දැරියගේ ප්‍රකාශ අනුව පළමු දිනයේ දැරිය කලිසමක් හැඳ දේව ශාන්තිය සඳහා ගොස් තිබූ අතර දෙවැනි දිනයේ ගවුමකින් සැරසී එන්නැයි පූසාරියා කළ දැනුම්දීම මත ඒ අයුරින් ගොස් ඇති බවත්, තෙවැනි දිනයේදී දැරිය දේවාලයට යාම ප්‍රතික්‍ෂේප කළ බවත් මූලික පොලිස් විමර්ශනවලින් හෙළිවූ බව පොලිසිය එහිදී පැවැසීය.

මේ වනවිට ප්‍රදේශය අතහැර පලාගොස් සිටින සැකකරු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්‍ෂණ සිදුකරති.

ප්‍රදේශවාසීන් පවසන්නේ මුලසිටම අදාළ කෝවිල ස්ථාපනය කිරීමේදී ඊට දැඩි විරෝධයක් පැවති බවත් අන්ධ දේව භක්තිකයන් කිහිපදෙනෙකු මැදිහත්ව කෙසේ හෝ බලපෑම් කොට දේවාලය ස්ථාපිත කරගත් බවයි. එමෙන්ම ඉකුත් සෙනසුරාදා පැවැති කොවිඩ් කමිටුවේදී ආගමික ස්ථාන පිළිබඳ ඇතිවූ කතාබහ අතරතුරදී පවා අදාළ දේවාලයේ සැකකාර පූසාරිගේ එවන් පෙර නොහොඹිනා හැසිරීම් රැසක් වාර්තාවූ අතර ජනතාව දෙවියන්ට ඇති බිය නිසා පොලිසියට පැමිණිලි නොකළ බවත් ඉදිරියේදී ඒ පිළිබඳ දැඩිව ක්‍රියාමාර්ග ගතයුතු බවත් සාකච්ඡා විය.

මනුසත් සේරසිංහ- කුලියාපිටිය

aruna

Similar Posts