තමන් වගා කර ඇති පෙයාස් වගා අස්වනු මිලට ගැනීම සඳහා පැමිණෙන වෙළෙඳුන්ගේ අඩුවීමක් හේතුවෙන් තම පෙයාස් අස්වනුවලට නිසි මිලක් ලබාගත නොහැකි තත්ත්වයක් මත තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ඌව පරණගම ලකී ලෑන්ඩ්, ගොම්මලිකන්ද පෙයාස් වගාකරුවෝ පවසති. පෙයාස් වගාව සඳහා උචිත පාරිසරික තත්ත්වයක් පවතින ඌව පරණගම ලකීලෑන්ඩ් ගොම්මලිකන්ද ප්රදේශයේ පවුල් විශාල ප්රමාණයක් පෙයාස් වගාවේ නියැළෙන බවත්, මෙවර වගා කන්නයේ අස්වනු නෙළීම මේ වන විට ආරම්භ කර ඇති නමුත් එම අස්වනු මිල දී ගැනීම සඳහා පැමිණෙන වෙළෙඳුන්ගේ ප්රමාණය පෙර වර්ෂවලට වඩා අඩු වී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
ඌව පරණගම ලකී ලෑන්ඩ් ගොම්මලිකන්ද ප්රදේශයේ පෙයාස් වගාකරුවකු වන සරත් කුමාර වීරසේකර මහතා මෙසේ පැවසීය.
“අපේ ගම්මානවල රහංගල පෙයාස් ඉතාමත් සරුවට වැවෙනවා. අතීතයේ අපේ ප්රදේශයටම ආවේණික ගොම්මලිකන්ද නමින් පෙයාස් ප්රභේදයක් තිබුණා. නමුත් එහි අස්වැන්න අඩුව ලැබුණේ. එනිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වැඩි සරු අස්වැන්නක් ලැබෙන රහංගල නම් පෙයාස් ප්‍රභේද අපිට හඳුන්වා දුන්නා. ඉන්පසු අපේ ප්රදේශය පෙයාස් ගම්මානයක් හැටියට තමයි ක්රියාත්මක වෙන්නේ. මේ ගමේ පවුල් විශාල ප්රමාණයක් පෙයාස් වගාව සිදු කරනවා. වර්ෂයේ එක් කාලයක් තමයි පෙයාස් අස්වනු හොඳින් ලැබෙන්නේ. මේ වන විට පෙයාස් අස්වනු නෙළීම ආරම්භ වෙලා තියෙන්නේ. අපේ අස්වනු මිල දී ගන්න නුවරඑළිය ඇතුළු පිට පළාත්වල වෙළෙඳුන් තමයි එන්නේ. ඒත් පෙර වර්ෂවලට වඩා මේ වර්ෂයේ අස්වනු මිලට ගන්න එන වෙළෙඳුන්ගේ ප්රමාණය අඩුයි. ඒ නිසා ඔවුන් අපේ අස්වනු ඉල්ලන්නේ අඩුවට. වර්ෂයකට එක් වතාවයි අපි අස්වනු නෙළන්නේ. ඒ අස්වනුත් අඩුවෙන් දීලා අපිට ආදායමක් ලබන්න බැහැ. අපෙන් අඩුවට ගත්තත් අපි දකිනවා නගරයට ගියාම ඉහළ මිලකට මේ පෙයාස් පාරිභෝගිකයන්ට අලෙවි කරනවා. ඒ නිසා අපි බලධාරින්ගෙන් ඉල්ලන්නේ මේ අපේ පෙයාස් නිසි මිලකට අලෙවි කරගන්නත්, පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට පෙයාස් මිල දී ගැනීමටත් යම් වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා.”
පෙයාස් ගොවියකු වන සුමිත්‍රා මහත්මිය මෙසේ කීවාය.
“වර්ෂය පුරා අපි මේ පෙයාස් ගස් නඩත්තු කරගන්න ඕනි. මේ අස්වැන්න ලැබෙනකන් තමයි අපි බලාගෙන ඉන්නේ අපේ පවුල්වල ආර්ථිකය ශක්තිමත් කරගන්න. දැන් මේ වෙළෙන්දෝ එන්නේ නැති නිසාත්, නිසි මිලක් නොලැබීම නිසාත් ගස්වලම පෙයාස් අස්වනු කුණු වෙලා ගස් යට වැටිලා. පෙර වර්ෂයේ නම් අපිට හොඳ මිලක් තිබුණා. මේ වන විට අපේ පෙයාස් අස්වනු කිලෝවක් පිට පළාත්වලින් එන වෙළෙඳුන් ඉල්ලන්නේ රු. හය හත්සීයකට. ඒ ගාණට දීලා අපිට වැඩක් නැහැ. රු. 900ක වත් මිලක් ලැබෙනවා නම් අපිට සහනයක්. අපෙන් අඩුවට ඉල්ලුවත් අපි වෙළෙඳපොළේ දකිනවා කිලෝවක් එක්දහස් පන්සීයත්, දෙදහසක් අතර මිලකට පෙයාස් අලෙවි වෙනවා. වස විස නැති පලතුරක් හැටියට පෙයාස් මිලට ගන්න ඇතැම් පාරිභෝගිකයන් කැමතියි. ඉතින් මේ පෙයාස් වගාව අපිට ඉදිරියටත් කරගෙන යන්න බලධාරින් මැදිහත් වෙන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ.”