වසර තිස් තිහකට වැඩි කාලයක් නොමිලේ පවත්වාගෙන ගිය පොලිස් නිල දරු පෙර පාසලට ලබන වසරේ සිට මුදල් අය කිරීමට තීරණය කර ඇති හෙයින් පොලිස් නිලධාරින් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

කොළඹ, කොම්පඤ්ඤවීදියේ, අංක 101 /85 දරණ ස්ථානයේදී 1988 වසරේදී එවකට පොලිස් මහජන සම්බන්ධතා අධ්‍යක්ෂකව සිටි පොලිස් අධිකාරි එස්.බී.සේනාරත්න මහතාගේ අදහසකට අනුව පොලිස්පති සිරිල් හේරත් මහතා විසින් මෙම පෙර පාසල ආරම්භ කර තිබේ.

එදා සිට මෙම පෙර පාසල පවත්වාගෙන යනු ලැබුයේ පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාශය විසිනි. ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු පොලිස් දරු දැරියන් මෙම පෙර පාසලේ ඉගෙනුම ලැබුයේ නොමිලේය. පෙර පාසල පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් සපයා ඇත්තේ ආසියා පදනම මඟිනි. පොලිස් නිලධාරින්ට නිලධාරීන්ට,නිලධාරීනියින්ට තම රාජකාරී කටයුතු වඩාත් පහසු කරමින් 1991 වසරේදි පෙර පාසලට අමතරව දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ද ආරම්භ කර ඇත.

පෙර පාසල් ඩිප්ලෝමාධාරී ගුරුවරියන් සේවය කරන මෙම පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය උදෑසන 7.30 සිට සවස 5.00 දක්වා පවත්වාගෙන යනු ලබයි. 2010 වසරේදි පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා විසින් මෙම පෙර පාසල ජාත්‍යන්තර පෙර පාසලක් බවට පත් කරමින් ඊට අව්‍යශ සියලු පහසුකම් සපයා දී ඇත.

නමුත් වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා විසින් 2019- 08- 01 දින පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාශය වෙත දන්වා ඇත්තේ මෙම පෙර පාසල ඉන් ඉවත් කර පොලිස් සුබසාධක කොට්ඨාශය වෙත පවරා ගැනීමටඇති හැකියාව සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය. එහිදි පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාශය විසින් ඉල්ලා ඇත්තේ තවදුරටත් පෙර පාසල තම කොට්ඨාශයටම පවත්වාගෙන යාමට ඉඩ දෙන ලෙසය.

නමුත් එම ඉල්ලීම බැහැර කරමින් වැඩ බලන පොලිස්පතිවරයා 2019- 09- 05 වෙනි දින පොලිස් සුබසාධක කොට්ඨාශය වෙත පවරා දී තිබේ. එම කොට්ඨාශය විසින් මෙය පවත්වාගෙන යාම පොලිස් පවුල් සුබසාධක සංගමය වෙත පවරා දී ඇත.

පොලිස් නිලධාරින්ගේ පවුල් වල සුබසාධනය වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන පොලිස් පවුල් සුබසාධක සංගමය මේ වන විටත් මරදාන හා පොලිස් කේෂත්‍ර බලකා මුලස්ථානයේ පෙර පාසල් දෙකක් පවත්වාගෙන යන අතර එම දරුවන්ගෙන් පෙර පාසලට මසකට රුපියල් 800 ක් හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයට රුපියල් 2000 ක මාසික ගාස්තුවක් අය කරනු ලබයි.

පොලිස් පවුල් සුබ සාධක සංගමය මෙම පොලිස් දරු පෙර පාසලෙන්ද එලෙස මුදල් අය කීරීමට තීරණය කර තිබේ. මෙතෙක් කලක් නොමිලේ අධ්‍යාපනය ලැබු දරුවන් වෙනුවෙන් මෙලෙස මසකට රුපියල් තුන්දහසකට ආසන්න මුදලක් වෙන් කිරීමට සිදු වීම කබලෙන් ලිපට වැටීමක් බව පොලිස් දෙමාපියන් පවසති.

මේ පිලිබඳ සාකච්ඡා කිරිමට පෙර පාසලේ දෙමාපිය සංගමය කිහිපවරක් වැඩ බලන පොලිස්පතිවරයා හමු වීමට උත්සහ කළද ඔහු ඊට අවස්ථාවක් ලබා දී නොමැති බවත් ඔහුව නියෝජනය කරමින් පැමිණි නිලධාරියා පවසා ඇත්තේ පොලිස්පතිවරයාගේ නියෝගය පිලිපඳින ලෙසත්ය.

දෙමාපිය සංගමය මේ පිලිබඳ ජාතික පොලිස් කොමිසන් සභාවට, ආරක්ෂක අමාත්‍යාංශයට, ජනාධිපතිවරයා වෙත ලිඛිතව මෙම අසාධාරණය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙන අතර ඔවුන් නැවත මෙම පාසලේ පලනය යළි මහජන සම්බන්ධතා කොට්ඨාශය වෙතම භාර දෙන ලෙසද ඉන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

 

ශානිකා මාධවී

More Stories