පොලොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හා එහි ප්‍රේරක කලාපයට අයත් අක්කර 1000ක් පමණ දීර්ග කාලයක් තිස්සේ අධිකරණයේ විභාග වූ නඩුවවලින් පසු වනජීවීන් උදෙසා සන්තකය පවරා ගැනීම අධිකරණ නියෝග මත වනජීවී නිලධාරින් ඇතුලු පිරිසක් විසින් ඉකුත් සතියේ සිදු කළ හ.

ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හා එහි ප්‍රේරක කලාපයට අනවසරයෙන් ඇතුළු වී කුඹුරු අස්වද්දා වී වගා කරන පිරිස් පිළිබදව 2014 දී අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර දීර්ග විමර්ශනයකින් අනතුරුව ජලගැලුම් නිම්නයට අයත් වේරෝඩයාය හා ඒ අවට ප්‍රදේශවල අනවසර වගාකරුවන් 219ක් සදහා අධිකරණයේ නඩු ගොනු කරනු ලැබූහ.

වසර 06 ක් පමණ කාලයක් දීර්ග ලෙස විභාග වූ මෙම නඩුවලින් පසු දැනට මාස කිහිපයකට පෙර ඉඩම් කට්ටි 24ක් සන්තකය පවරා ගෙන වනජීවීන් වෙත නිදහස් කළ අතර ඉකුත් බදාදා හා ප්‍රහස්පතින්දා දිනවල තවත් ඉඩම් කට්ටි 48ක් සන්තකය පවරා ගැනීම සිදු කෙරිනි.

මේ අනුව අක්කර 1000කට ආසන්න බිම් ප්‍රමාණයක් යලි ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වනජීවීන් වෙත නිදහස් කිරීමට පොලොන්නරුව කළාපයේ සුංගාවිල හා පොලොන්නරුව අඩවියේ වන ජීවී නිලධාරින් හා සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරින් ට හැකි වී තිබේ.

අධිකරණ නියෝග අනුව ශ්‍රී ලංකා පොලිසිය යුධ හමුදාව හා වනජීවී නිලධාරින් ද සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් ගේද සහය ඇතුව මෙම සන්තකය පවරා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක විය.බලහත්කාරයෙන් අස්වද්දා ඇති කුඹුරුවල නියර පැකෝ යන්ත්‍ර යොදා ගනිමින් කපා දමා වනජීවීන් ට අක්කර 1000ක පමණ බිම් තීරුවක් නිදහස් කර ගැනීමට හැකි වීම කාගේත් පැසසුමට ලක් විය.

එස්.එම්.බණ්ඩාර මුදියන්සේ – පොලොන්නරුව

More Stories