රජය මගින් සහන මිලට ගෙවින්ට අලවි කිරීමට නිකුත්කර තිබූ පොහොර විශාල තොගයක් රාජාංගනය යාය පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගබඩාවක් තුළ සඟවාගෙන කළුකඩ මිලට විකුණීමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ කර පොහොර පැටවූ ලොරි තුනක් සිය බාරයට ගැනීමට ප්‍රදේශවාසීන් පිරිසක් සමත්වූහ.
පෙරේදා (11දා) රාත්‍රියේ 11ට පමණ පොහොර පටවාගත් ලොරි විශාල ප්‍රමාණයක් මාර්ගය ඔස්සේ ගමන් කරන අයුරු දුටු ගොවියෙකු ලොරි රථ තුනක් මාර්ගය හරස් කොට නවතාගෙන තිබේ.
ගොවිතැනින් ජීවත්වන ප්‍රදේශවාසීන් පිරිසක් එම ස්ථානයට කැදවා ලොරි රථ රියදුරන්ගෙන් විමසීමක් කළ අවස්ථාවේ රුපියල් 2500ක මුදලකට ව්‍යාපාරිකයෙකුගෙන් යූරියා පොහොර මිලදී ගෙන කල්පිටිය නොරෙච්චෝලය ප්‍රදේශයට රැගෙන යන බව අනාවරණය කරගෙන තිබුණි.
ප්‍රදේශයේ ගොවින්ට පොහොර ලබා නොදෙමින් ව්‍යාපාරිකයා මහාපරිමාන පොහොර වංචාවක් සිදුකරනා බව අනාවරණය කරගත් ගොවින් ඒ සම්බන්ධයෙන් දුරකථනය මගින් තඹුත්තේගම මූලස්ථාන පොලිසියට දන්වා තිබේ.
ඊයේ (12දා)අළුයම දෙකට පමණ පොලීසිය එහි පැමිණි අතර ඔවුන් සමග ගබඩාවට ගොස් පරික්ෂා කිරීමේදී රුපියල් 1500ක මුදලකට අලෙවි කළ යුතු රජයේ සහනාධාර පොහොර මිටි දහසකට වඩා ගබඩාවේ සගවා තිබෙන අයුරු නිරීක්ෂණය විය.
එම වංචාව රටට අනාවරණය කිරීමට ගිය මාධ්‍යවේදින්ටත් අදාල ගබඩාව හිමි ව්‍යාපාරිකයා තර්ජනය කළේය.පොහොර වැඩි මිලට අලවිකිරීම පිළිබදව ප්‍රදේශයේ ජනතාව ව්‍යාපාරිකයා සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිකර ගත්හ.
තඹුත්තේගම පොලීසිය මගින් පොහොර පැටවූ ලොරි රථ තුනක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර රජයේ පොහොර ගබඩාකර තිබු ස්ථානයට පොලිසිය මුද්‍රා තැබූහ.
රාජංගනය ව්‍යාපාරයේ ගොවින්ට සහනාධාර පොහොර ලබානොදෙමින් පිටස්තර පුද්ගලයන්ට වැඩි මිලට පොහොර විකිනීම සම්බන්ධයෙන් අදහස් දැක්වු යාය තුන රාජංගනය පදිංචි ඩබ්ලිව් ඒ එම් චන්ද්‍රසිරි (46) ගොවි මහතා.
මේ ව්‍යාපාරිකයාට රාජංගනය පහේ කණුවේ වෙළදසැල් තුනක් විතර දාගෙන ඉන්නවා.අපි ගිහිල්ලා රජය මගින් ගොවින්ට සහනාධාර වශයෙන් ලබාදෙන පොහොර මිටියක් ඉල්ලුවම නෑ කියනවා.
පෙරේදා (11දා) රාත්‍රීයේ එක දිගට ලොරි රථ විස්සක් විතර පොහොර පටවගෙන යනවා මම දැක්කා.ඒ පාර මම අන්තිම ලොරි රථ තුන පස්සේ යතුරු පැදියකින් පන්නලා මාර්ගය හරස් කරලා අල්ලා ගත්තා.අල්ලගෙන මම ලොරිවල යතුරු ගත්තා.යතුරු අරගෙන මම ඇහුවා පොහොර කොහෙටද ගෙනියන්නේ කියලා.
නොරෙච්චෝලේට කිවුවා.අපිට වගා කරගන්න පොහොර ඇටයක් නෑ.මේවා රජය දීලා තියෙන්නේ රාජංගනය ජනපදයේ ගොවින්ට දෙන්න.නමුත් කළුකඩ මුදලාලි ඒවා රුපියල් 2500ක මුදලකට ඔවුන්ට දීලා තියෙන්නේ.නීතිය රකින තඹුත්තේගම පොලිසියට අපි කථා කළා පැය තුනක් යනකම් නිලධාරියෙක් ආවේ නෑ.නමුත් අපේ පිහිටට අනුරාධපුරේ ඉදන් මාධ්‍ය ආවා යනුවෙන් ඔහු පැවසුවේය.
අනුරාධපුර-මහේෂ් විජේසූරිය