මෝටර් රථ ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමත් සමඟ දේශීයව එකලස් කරන ලද වාහන සඳහා ඉල්ලුම ඉහළ ගොස් පවතින අවස්ථාවක, ශ්‍රී ලංකාවේ ආයෝජනයට නව මාවතක් විවර කරමින් ලෝ ප්‍රකට වාහන සන්නාම කීපයක් මෙරට එකලස් කිරීමට තීරණය කර ඇති බව කර්මාන්ත අමාත්‍යාංශයේ මෝටර් රථ අංශ උපදේශක කමිටුව පවසයි. ඒ අනුව Hyundai, Proton, BAIC, DFSK, Wuling, Cherry, Mahindra, TATA, Bajaj, TVS, JMC සහ Lanka Ashok Leyland යන සන්නාමවල වාහන මෙරටදී එකලස් කිරීමට තීරණය කර තිබේ. මේ අනුව පාරිභෝජන අවශ්‍යතාවය මත SUV, කාර්, යතුරු පැදි, ඩබල් කැබ්, ට්‍රක් රථ හා බස් වැනි වාහන පරාසයක් එකලස් කිරීමට අනුමැතිය හිමි වී ඇත. එමෙන්ම Nwow විදුලි යතුරු පැදි සහ KD Rize, Dyno සහ Senaro යන යතුරු පැදි සන්නාම ද එකලස් කෙරේ. JAC සහ FOTON ඇතුළුව තවත් ආයතන හතරක් ද ළඟදීම එකලස් කිරීම් ආරම්භ කිරීමට නියමිත වේ. මේ අනුව කර්මාන්ත තිහකට අධික ප්‍රමාණයක් මේ වසර අවසානය වන විට දේශීය එකලස් කිරීමේ කර්මාන්තයට එකතු වීමට නියමිතව ඇත.

කර්මාන්ත අමාත්‍යාංශයේ මෝටර් රථ අංශයේ උපදේශක කමිටුවේ සභාපති වන දිමන්ත ජයවර්ධන මහතාට අනුව ඩොලර් මිලියන 200 සිට ඩොලර් බිලියන 1 දක්වා අපනයනය වර්ධනය කිරීමට සැලසුමක් ඇත. මෝටර් රථ එකලස් කිරීම සඳහා මෝටර් රථ කර්මාන්ත කවුන්සිලය (AIC) විසින් තාක්ෂණික හා වෘත්තිය අධ්‍යාපනය සඳහා විෂය මාලාව සකසමින් පවතින අතර කර්මාන්ත අමාත්‍යංශ විසින් IATF සහතිකය එනම් ජාත්‍යන්තර සන්නාම සඳහා උපාංග නිෂ්පාදනය කිරීමේ දී අවශ්‍ය වන දේශීය මෝටර් රථ උපාංග නිෂ්පාදකයින් සඳහා වන මෙම සහතිකය සඳහා යන වියදමෙන් 50%ක ප්‍රමාණයක් සඳහා අනුග්‍රහය දක්වනු ඇත.

දේශීයව එකලස් කරන ලද වාහන සඳහා වැඩි පරිභෝගික කැමැත්තක් පවතින හෙයින් මෙම වාහන එකලස් කිරීම තුළින් ඉංජිනේරු සහ තාක්ෂණික රැකියා උත්පාදනය වන බව ජයවර්ධන මහතා ප්‍රකාශ කළ අතර මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය සඳහා විසි වසරක ප්‍රධාන සැලැස්මට අනුව වසර 2037 වන විට ශ්‍රී ලංකාව ගෝලීය මෝටර් රථ නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානයක් බවට මෙන්ම වාහන එකලස් කිරිමේ අංශය ආශ්‍රිතව රැකියා 45,000 දක්වා ඉහළ නැංවීමටත් අවශ්‍ය කටයතු කර්මාන්ත අමත්‍යංශයේ අංශ උපදේශක කමිටුව සොයා බලන බව දිමන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

Similar Posts