බාලවයස්කාර දැරියක් එප්පාවල ප්රදේශයට පෙම්වතෙකු සමග පැමිණ සැගවී සිටිමේ ආරවුලකට පොළොන්නරුවේ සිට පැමිණි පුද්ගලයෙකුගෙන් රුපියල් පන්දහසක අල්ලසක් ලබාගත් එප්පාවල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී කේ.ඒ.ජී.එස්.කොඩිසිංහ මහතාගේ නියෝග මත වහාම ක්රියාත්මක වන පරිදි වැඩ තහනම් කර තිබේ.
ඒ.එම්.ඒ.පී.අබේසිංහ නැමැති වැඩ තහනම් කෙරුණ උප පොලිස් පරීක්ෂකවරයා පොළොන්නරුවේ පදිංචි බී.ඩබ්ලිව්.සුරේෂ් ප්රසාද් පුෂ්පකුමාර නමැති පුද්ගලයාගෙන් එප්පාවල පොලිස් ස්ථානය තුලදී රුපියල් පන්දහසක අල්ලස ලබාගත් අවස්ථාවේම එම පුද්ගලයා උසස් පොලිස් නිලධාරියෙකුට ඒ ගැන දැනුම්දී තිබුණි.
උසස් පොලිස් නිලධාරියා වහාම ඒ සම්බන්ධයෙන් කළ දැනුම්දීම මත එප්පාවල පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඒ.ඒ.රෝහණ අධිකාරී මහතා සිදුකළ පරීක්ෂණයේදී සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සන්තකයේ තිබි රුපියල් පන්දහසක අල්ලස් මුදල තිබුණු බව තහවුරුවී අල්ලස් මුදලද සන්තකයේ තිබී සොයාගැනීමට හැකිවී තිබිණි.
වැඩ තහනම් කෙරුණු උප පොලිස් පරීක්ෂකවරයා පැමිණිල්ලෙන් අල්ලස් මුදල ලබාගෙන තිබුනේ මීට සතියකට පෙර මොරගහහේන ප්රදේශයේ පදිංචි සිය ඥාතිවරියක බාරයේ සිටි ඔහුගේ 16 හැවිරිදි දියණිය 18 හැවිරිදි තරුණයෙකු සමග පෙම් සබඳතාවක් ඇතිකරගෙන එම තරුණයා සමග එප්පාවල පොලිස් වසමේ කෝන්වැව ප්රදේශයේ නිවසකට පැමිණි සිද්ධියක් මුල්කර ගනිමින්ය.
එප්පාවල පොලිස් ස්ථානාධිපතිවරයා සිදුකළ පරීක්ෂණයෙන් අනතුරුව කළ දැනුම්දීම මත එප්පාවල පොලිසියට පැමිණි සහකාර පොලිස් අධිකාරි කොඩිසිංහ මහතා විසින් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ගෙන් ප්රකාශ ලබාගෙන සිදුකළ වැඩිදුර විමර්ශනයකින් පසුව වහාම ක්රියාත්මක වන පරිදි ඔහුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබුණි.
අනුරාධපුර – මහේෂ් විජේසූරිය