boo-nowana-roga

මෙරට මරණ වලින් 83% ක් සිදු වන්නේ බෝ නොවන රෝග වලින් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

එය මර්දනයට අදාල ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට තමන් නායකත්වය ගන්නා බවද අනාගතයේ දී බෝනොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දියත් කළ යුතු දීර්ඝකාලීන හා කෙටිකාලින සැළසුම් කඩිනමින් සකස් කරන බවත්  එම සේවාවන් කාර්යක්ෂම සහ විධිමත් කිරීමට පියවර ගනිමින් ඊට අදාල මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා බවද ඇය පවසයි.

ඇය මේ බව කියා සිටියේ බෝ නොවන රෝග පිළිබද ජාතික කවුන්සිලය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස් වු අවස්ථාවේදිය.

මෙහිදී බෝ නොවන රෝග පාලනයට පසුගිය වසර කිහිපය තුල සිදු කළ හා දැනට සිදු කෙරන ක්‍රියාකාරකම් සාකච්ඡාවට හා සමාලෝචනයට ලක් කෙරිනි. හෘද රෝග, ආඝාතය, පිළිකා, මානසික රෝග වැනි බෝනොවන රෝග පාලනයට හා වළක්වා ගැනීමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, සැළසුම සකස් කිරීම හා ඊට අදාළ සමාලෝචනය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරචිච් මහත්මිය විසින් සිදු කරන ලදි.

මෙරට සිදුවන මරණ වලින් 83 % ක් සිදු වන්නේ හෘද රෝග, පිළිකා, දියවැඩියාව, වකුගඩු රෝග වැනි ප්‍රධාන බෝනොවන රෝග හේතුවෙන් බවත්, එවැනි බෝනොවන රෝග මර්දනය සදහා ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සදහා තමා නායකත්වය ගන්නා බව ඇය මෙහිදී අවධාරණය කරන ලදි.

මෙම බෝනොවන රෝග පිළිබද ජාතික කවුන්සිලය 2017 වසරේ දී පිහිටුවා ඇති අතර, මාස 06 කට වරක් රැස් වී බෝනොවන රෝග පාලනය සදහා ගත යුතු ඉදිරි පියවර පිළිබද සමාලෝචනයක නිරත වේ. මෙහි සභාපතිධූරය දරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා වන අතර. උපදේශකත්වය බෝනොවන රෝග පිළිබද ජාතික කවුන්සිලය විසින් දරනු ලබයි.

ශානිකා

More Stories