දශක ගණනාවක් පුරාවට අතුරුදන් කිරීමට ලක්වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත් එම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැනවීමටත් ශ්‍රී ලංකා රජය අර්ථාන්විත පියවර අනුගමනය කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඊයේ (17) වාර්තාවක් නිකුත් කරමින් දන්වා තිබේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, එම අපරාධ සඳහා රාජ්‍ය ආරක්ෂක අංශවල සහ අනුබද්ධ සන්නද්ධ කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගෙන ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිය යුතු බවය.අතුරුදන් කිරීම්වලට ලක්වූ සියලුම ශ්‍රී ලාංකිකයින් කිසිදා අමතක නොකළ යුතු බවට මෙම වාර්තා මගින් යළිත් සිහිකැඳවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා පවසයි.බොහෝ කාලයක සිටි අතුරුදන් කිරීම්වලට ලක්වූවන් පිළිබඳව තොරතුරු දැනගැනීමට බලා සිටින ඥාතීන්ට සත්‍ය දැනගැනීමේ අයිතියක් පවතින බවත් අතුරුදන් කිරීම්වලට ලක් වූවන්ට රජය ණයගැති බවත් වෝල්කර් ටර්ක් මහතා එම වාර්තාව හරහා දන්වා තිබේ.

මෙවැනි අපරාධ ඒවාට මුහුණ දුන් පිරිසට පමණක් නොව සමාජයක් ලෙස සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවටම කම්පනය දනවන සුළු බව වාර්තාවේ දැක්වෙයි.අතුරුදන් කිරීම්වලින් සියලුම පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය අනුමත කිරීම වැනි ධනාත්මක පියවර අනුගමනය කර තිබුණත් ඒක පුද්ගල අතුරුදන්වීම් පිළිබඳව විමර්ශන කිරීම් සීමිත බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ අවධාරණය කර ඇත.

අතුරුදන් කිරීම්වලට ලක්වූවන් පිළිබඳව සෑම තොරතුරක්ම අනාවරණය වන තෙක් විමර්ශන සිදුකිරීමට රජය බැඳී සිටින බවට වන ජාත්‍යන්තර නීතිය දිගින් දිගටම උල්ලංඝනය වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මතය බව සඳහන් ය.සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගතවී තිබුණත්, අතුරුදන් කිරීමේ පළමු රැල්ල ආරම්භ වී දශක ගණනාවක් ගතවී තිබුණත්, එම ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගවීම තහවුරු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත් වී ඇති බව වාර්තාවේ දැක්වෙයි.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිසම අවධාරණය කරන්නේ දශක ගණනාවක් පුරා සිදුවූ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වගවීම සහතික කළ යුතු බවය.

Similar Posts