fish

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ මත්ස්‍ය වර්ග රැසක මිල ගණන් පසුගිය දින කීපය තුළ අඩු වී තිබේ. ඉකුත් සතියේ රුපියල් 1000ක තොග මිලට තිබූ බලයන් කිලෝව රුපියල් 500 කටත්, රුපියල් 1000 තිබූ ලින්නා මසුන් කිලෝව රුපියල් 600 කටත්, රුපියල් 800කට තිබූ සාලයා කිලෝව රුපියල් 400කටත් රුපියල් 600කට පමණ තිබූ හාල්මැස්සන් කිලෝව රුපියල් 400කටත් අලෙවි වූ බව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා පැවසීය.

ධීවරයන්ගේ ඉන්ධන ගැටලුවට යම්තාක් දුරට විසඳුම් ලැබීම නිසා මුහුදු යන ධීවර කාර්මිකයන් ප්‍රමාණය වැඩි වීම මෙසේ සැලකිය යුතු මත්ස්‍ය අස්වැන්නක් ලැබීමට හේතු වී ඇති බවත් ඒ මහතා කීය. කුරේ මහතා පෙන්වා දුන්නේ සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා මාස තුනක කාලය දකුණෙන් උතුරෙන් සහ පුත්තලමෙන් මාදැල් ධීවර අස්වැන්න ඉතා සරුවට ලැබීමෙන් මසුන් තොග විශාල වශයෙන් වෙළෙඳපොළට ලැබෙමින් පවතින බවයි. ධීවරයින්ට ඉන්ධන සහනාධාරයක් රජයෙන් පිරිනමන්නේ නම් මෙයටත් වඩා මත්ස්‍ය අස්වැන්නක් ලබා ගත හැකි බවද කුරේ මහතා පැවසීය.

මේ අතර ධීවර සංස්ථා මසුන් අලෙවි මිල ගණන්ද පහත බැස ඇති අතර, එහි මසුන් මිල ගණන් සටහන් වන්නේ ‘ඒ‘ ශ්‍රේණියේ මසුන් කාණ්ඩය යටතේයි. ඒ යටතේ රුපියල් 850ට තිබූ සාලයන් තොග මිල රුපියල් 650 දක්වා පහත බැස ඇති අතර, රුපියල් 600ට තිබූ සූඩයන් කිලෝව රුපියල් 400ටත් ලින්නා මසුන් රුපියල් 600කටත්, අලෙවි වී ඇත. මෙයට අමතරව ලංකාව පුරා ඇති ධීවර සංස්ථා අලෙවිසල් 98 කින්ද පාරිභෝගිකයන්ට පහසු මිලට නැවුම් මසුන් මිල දී ගැනීමට අවස්ථාව සලසා දී ඇති අතර, ඌබර් සහ පික්මී සේවාවන් වෙතින් ද ධීවර සංස්ථා මසුන් ඇණවුම් කර ලබා ගැනීමට ධීවර සංස්ථාව කටයුතු යොදා තිබේ. පාරිභෝගිකයන් සඳහා ධීවර සංස්ථාව හඳුන්වා දුන් අලුත්ම නිෂ්පාදනය වන්නේ මත්ස්‍ය බජට් පැක්ය.

More Stories