ශ්‍රී ලංකාවේ විධායක ධුරය ස්ථාපිත කරන ලද්දේ 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව තුළිනි. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව අහෝසි කරමින් ගෙනා 1978 පෙබරවාරි හතරවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නීතිගත කෙරුණු විධිවිධාන අනුව එවකට අගමැතිවරයාව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා එම බලසම්පන්න තනතුරට පත් විය.
අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමය එක්තරා අතකින් ඒකාධිපති ස්වරූපයක් පෙන්නුම් කරන බව එකල බොහෝ විද්වත්හු ප්‍රකාශ කළහ.
රාජ්‍යයේ පාලකයාත් සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායකයාත් ආණ්ඩුවේ නායකයාත් යන ත්‍රිවිධ ධුරයන්හි බලතල විග්‍රහ කළ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාම සඳහන් කළේ තම රජයට කළ නොහැක්කේ ගැහැනියක් පිරිමියෙකු කිරීමත් පිරිමියෙකු ගැහැනියක් කිරීමත් පමණක් බවයි.
අසීමිත බලය නිසා ජේ. ආර්. නොයෙක් විට හිතුවක්කාර තීරණ ගත් අතර ඊට උදාහරණ ලෙස 1980 වැඩ වර්ජනයේදී අසූදහසක් දෙනා රැකියා වලින් නෙරපා හැරීම , සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම දැක්විය හැක.
1996 නොවැම්බර් මස 1 වැනි දින අභාවප්‍රාප්ත වන මෙතුමා ඒ වන විට අනු වසරක දීර්ඝ දිවි ගමන නිමා කළේ ය. එකොළොස් වසරක් ජනාධිපති ධුරයේ කටයුතු කල මෙතුමාගේ අවසන් කැමති පත්‍රයට අනුව අවසන් කටයුතු ද සිදුවූ අතර ඔහුගේ අන්තිම ඉල්ලීම වූයේ කැලණි ගග අද්දර බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ මොහොතේ දිය ස්නානය කළ තැන ආසන්නයේ දවා අළු කරන ලෙසය.
ඔහුගෙන් පසු අනුප්‍රාප්තිකයා වූවේ රණසිංහ ප්‍රේමදාස මහතාය. ඔහු සෑම කුඩා දෙයක් ගැන වුවද මනා සැලකිල්ලක් දැක් වූ නායකයෙකි.
උතුරේ කොටි ත්‍රස්තවාදයත් දකුණේ ජේ. වී. පී. භීෂණයත් මර්දනය කිරීමේ දැවි ප්‍රයත්නයක ඔහු නියැළී සිටියේය
1993 මැයි 1 වැනිදා උදාවිය. මැයි දිනය සිය දේශපාලන නායකයන්ට කාර්ය බහුල දිනයක් වූ අතර එය තමන්ගේ පක්ෂවල ශක්තිය ප්‍රදර්ශනය කිරීමට මහගු අවස්ථාවකි. මැයි දිනයේ සියලු කටයුතු අකුරට සිදුවෙන බව තමාම සෑහීමට පත්වීමට ජනාධිපතිවරයා ආමර් වීදියට ආවේ එහි සිට පිටත්වන අතුරු පෙළපාළිය පරික්ෂා කිරීමටය. මඳක් ඈතින් පැමිණි බයිසිකලයක් ආරක්ෂක අංශ විසින් නතර කළේ රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. නමුත් එම බයිසිකලයට ඉදිරියට පැමිණීමට අවසර ලැබුනද ආරක්ෂක නිලධාරීන් ඉවත් වනවාත් සමග ජනාධිපතිවරයා ලග පුපුරා ගියේ එය මිනිස් බෝම්බයක් බව රටටම දැනුවත් කරමින්.
බාබු නමැති වෙස් වළාගත් කොටි ඔත්තුකරුවෙකු බෝම්බය පුපුවා ගන්නා ලද අතර ජනාධිපති ආර්. ප්‍රේමදාස ඇතුළු 13 දෙනෙක් මිය ගියහ. ජනාධිපතිවරයාගේ සිරුර කුඩු පට්ටම් වී තිබුණු අතර ඔහු හඳුනාගනු ලැබුවේ අතෙහි බැඳ තිබුණු ඔරලෝසුවෙනි
ලංකාවේ ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ ඉරණම පිළිබඳ දුඃඛිත කතාවයි ඒ.එවක අගමැති ධුරයේ සිටි ඩී. බී විජේතුංග මහතා ජනාධිපති කර රනිල් අගමැති විය.
ඉන් පසු අනුප්‍රාප්තික ජනාධිපති වුයේ ඩී.බී. විජේතුංගයන්ගේ ඉරණම් කතාව ගැනය. ඉතා සරල ගැමියෙකු වූ ඔහුට ඉබේ ලැබුණු ජනාධිපති ඔටුන්න සැලකුවේ මහ බරක් ලෙසිනි . නිසි ලෙස ජනතා වරමින් පත්ව එනතුරු වගකීම් දැරූ එතුමා ස්වාධීන සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නායකත්වය දුන් අතර එය චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මහත්මියට ජනාධිපති ධුරයට පත්වීමට කිසිදු බාධාවක් නොකළේය.
1994 නොවැම්බර් 9 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා මහත්මිය ඓතිහාසික ජයග්‍රහණයක් ලැබු අතර ඇයට ඉඩ දී 1994 දී ඉවත්ව ගිය ඩී. බී විජේතුංග මහතා සැනසිල්ලේ දියණියගේ රැකවරණය මැද සතුටින් ජිවිතය ගතකර 2008 සැප්තැම්බර් 21 වැනි දින වයස් 92 ක් ගතකර මහනුවර රෝහලේදී අභාවප්‍රාප්ත විය
ඔහුට පසුව ජනාධිපති පදවිය දැරුවේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියයි. ඇය සිය ප්‍රථම ධුර කාලය නිම වීමට පෙර නැවත මැතිවරණයක් පැවැත්වීම සඳහා සිය අභිමතය ප්‍රකාශ කිරීම නිසා 2000 දෙසැම්බර් 21 වැනිදාට ජනාධිපතිවරණය පැවැත්වීමට සිදු විය.
එහි අවසාන රැලිය කොළඹ නගර සභා පිටියේදී පැවැත් වු අතර සිය කතාව නිම කර තම මෝටර් රිය ආසන්නයට එද්දී මරාගෙන මැරෙන කොටි කාන්තාවක් විසින් පුපුරුවා ගන්නා ලද මාරක බෝම්බය මගින් නූලෙන් ඇය බේරුණි. ඇසකට පමණක් සුළු තුවාල සිදු වී තිබුණි. සිය සේවා කාලය නිමා කළ චන්ද්‍රිකා 2005 දී සිය දරු මුනුපුරන් සමග විශ්‍රාම සුවයෙන් ගත කරයි.
ඇයගේ රජයේ අගමැතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා 2005 නොවැම්බර් 17 වැනිදා පවත්වන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේය. ඔහුගේ ප්‍රමුඛ අවධානය යොමු වූයේ තිස් අවුරුද්දක් තිස්සේ රට විනාශය කරා ගෙන යන කුරිරු යුද්ධය නැවැත්වීමට පියවර ගැනීමටයි. 2006 ජූලි 21දා මාවිල් ආරු සොරොව්ව වසා දැමීම නිසා යුද්ධයට සුදුසු මොහොත පැමිණියේය.
එයින් ඇරඹුණු යුද්ධය සේනාධිනායක වශයෙන් මහින්ද රාජපක්ෂයන් ලබා දුන් සෘජු නායකත්වය නිසා 2009 මැයි 18 වැනිදා ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය විනාශ කර යුද්ධය නිමා කර මව්බිම එක්සේසත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත් විය.
2011 වසරේ ජනවාරි 26 වැනිදා පැවැත් වූ ජනාධිපතිවරණයේදී අතිවිශාල දිනුමක් ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සමත් වූ නමුත් නැවත් වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට ගත් තීරනයක් නිසා ඊට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර තුන්වැනි වරටත් ජනාධිපති පදවියට තරග කළ හැකි බවට නීති සම්පාදනය කර ගැනීම නිසා බලලෝභී තැනැත්තෙකු යැයි විවේචන එල්ල වන්නට විය. මෙසේ ඒකාධිපති පාලනයක් පිළිබඳව බිය ජනතාව අතර මුල් බැස ගත්තේය.
මේ හේතුවෙන් පොදු අපේක්ෂකයා ලෙස හදිසියේ මතු වූ ශ්‍රී.ල.නි.ප ප්‍රධාන ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිවරණයෙන් ජය ගත්තේය. ඔහුගේ පාලනයද ජනප්‍රිය බවට පත්වූවේ නැත.
මන්ද පෞද්ගලිකව රාජපක්ෂ විරෝධී නීතිරීති ගෙන ඒම සහ පළිගැනීමේ කටයුතු නිසා නැවත රාජපක්ෂවරුනට ජනතාවගේ ආකර්ෂණය යොමු වූවේය.
තනතුරින් ඉවත්ව ගිය මහින්ද රාජපක්ෂ මහතා වීරකැටියේ මැදමුලනේ නිහඬව ජිවත් වීමට උත්සාහ කරමින් සිටියදී ජනතාව දහස් ගණනින් එහි ගොස් නැවත දේශපාලන කටයුතු සඳහා පැමිණෙන්නැයි කරන ලද ඇරයුම පිළිගත් ඔහු නැවත පැමිණ සටන මෙහෙයවා 2019 ජනාධිපතිවරණයෙන් හැටනම ලක්ෂයක අතිමහත් ජනවරමකින් සිය සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්කර ගත්තේය.
එම රජයේ යම් යම් අඩුපාඩු ද මත ඇති වූ අරගලය නිසා ඔහුට තනතුරින් ඉවත්ව යාමට සිදු වූ ආකාරය අමතක වීමට තරම් කාලයක් තවමත් ගත වී නැත.
ඔහුගේ අනුප්‍රාප්තික ජනාධිපති ධුරය හිමි වූයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාටය. එම නිල කාලය නිම වී තවත් ජනාධිපතිවරණයක් අත ළඟටම පැමිණ ඇත.
තව දින 16 කින් ඔබට පැමිණෙන මේ ජනවරම ඉතා නුවණැතිව යොදාගන්න ලෙස කාරුණිකව ඉල්ල සිටිමි.

සාරාංශ කිරීම තක්සලාව පුවත් පත ඇසුරෙනි .

කතෘ සෝමසිරි වික්‍රමසිංහ

Similar Posts