මෝටර් රථ වැරදි සඳහා පොලිසිය විසින් රියදුරු බලපත්‍රය ලබාගෙන ඒ වෙනුවට නිකුත් කරනු ලබන තාවකාලික අවසර පත්‍රය  ප්‍රථම වරට භාෂා තුනෙන්ම  ලබා දිමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

මොටර් රථ නිතී උල්ලංඝනය කිරිමකදි රියදුරු බලපත්‍රය ලබාගෙන ඒ වෙනුවට නිකුත් කරනු ලැබුයේ සිංහල පත්‍රිකාවකි.උතුරේ දෙමළ වැසියන්ටද මෙතෙක් කලක් ලැබුණේ සිංහල භාෂාවෙනි. එහෙත් සිංහල භාෂාව නොදන්නා වැසියෙකුට තම මෝටර් රථ වාහන වැරැද්ද තේරුම් ගැනීමට නොහැකිය. එහෙයින් මේ පිලිබඳ අවධානය යොමු කළ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මුලිකත්වය ගෙන අදාල බලධාරින් සමඟ සාකච්ඡා කිරිමෙන් පසුව මෙලෙස භාෂා ත්‍රිත්වයෙන්ම ලබා දීමට අනුමැතිය හිමිව තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසන්නේ 1951 දි හඳුන්වා දුන් මෝටර් රථ තාවකාලික අවසරපත්‍රය මේ වනතෙක් ලබා දුන්නේ එක් භාෂාවකින් පමණක් වන අතර මෙහිදි උතුරේ වැසියන් බොහෝ අපහසුතාවයන්ට පත් වු බවත්  දිර්ඝ කාලීන සාකච්ඡා වලින් පසුව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන් රණතුංග මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත් කිරිමට හැකි වු බවය.එමෙන්ම මෙය ප්‍රජාතන්ත අවකාශය සඳහා ලබා ගත් විශාල ජයග්‍රහණයක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මෙම අවසර පත්‍රයේ විශේෂත්වය වන්නේ භාෂාව නොදන්නා අයෙකුට වුවද තම වරද හඳුනා ගත හැකි ආකාරයට මාර්ගයෙහි සිදු කරන වැරදි අංක ගත කර සිදු කළ වරද අංකයක් ලෙසට දැක්වීමය. ඒ අනුව අදාළ අංකය බලා තම භාෂාවෙන් ඊට අදාල වරද හඳුනාගත හැකිය.

2144 /19 අංකය යටතේ මෙම අති විශේෂ ගැසට් පත්‍රය ඔක්තෝම්බර් 09 දා මුද්‍රණය කර තිබේ.

-ශානි පොල්ගම්පල-

More Stories