වලස්මුල්ල පොලිස් වසමේ කැරෑදෙනිය ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී යතුරු පැදියක් හා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ පසුපස ගමන් කළ අයෙකු මිය ගොස් කැබ් රථයේ ගමන් කළ තිදෙනෙකු හා යතුරු පැදිකරු තුවාල ලබා ඇතැයි වලස්මුල්ල පොලීසිය පවසයි.
තුවාල ලැබූවන් අතර වලස්මුල්ල පොලීසියට අනුයුක්තව සේවය කරුනු ලබන පොලිස් නිළධාරීන් දෙදෙනෙකුද සිටින බවද පොලීසිය පවසයි.
වලස්මුල්ල බල ප්‍රදේශයේ ග්‍රාමීය බැංකුවල මුදල් එකතු කිරමේ යෙදී සිටි නිළධාරීන් හා ඔවුන්ට ආරක්ෂාව ලබා දීම සදහා ගමන් කරමින් සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙකු කැබ් රථයේ ගමන් කොට තිබේ.
කැරෑදෙනිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක කැබ් රථය ගමන් කරමින් සිටියදී අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් කැබ්රථයේ ගැටී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.අනතුර වලක්වා ගැනීම සදහා කැබ් රථයේ රියදුරු උත්සාහ ගෙන තිබුණු අතර ඒ අතර තුරදී කැබ් රථයද මාර්ගයෙන් ඉවතට පැන පෙරලී තිබුණි.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ කැරෑදෙනිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වූ විජයමුණිගේ ප්‍රියන්ත නම් 36 වැනි වියේ පසු වූ අවිවාහකයෙකි.
අනතුරෙන් තුවාල ලබා සිටි පොලිස් නිළධාරියෙකු මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇති බවත් අනෙක් පොලිස් නිළධාරීයා වලස්මුල්ල මූලික රෝහලේ ප්‍රථිකාර ලබන බවත් පොලීසිය කියයි.කැබ් රථයේ රියදුරුද තුවාල ලබා රෝහල් ගත කොට තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
චන්ද්‍රසේන ගමගේ