රාජ්‍ය සේවකයන්ගේ කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය අංශයන්හි තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීම යෝග්‍ය බව හඳුනාගනිමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ විශේෂ සංදේශයට අනුමැතිය ලැබුණු බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ඩිජිටල්කරණය ඔස්සේ සියලුම රාජ්‍ය ආයතන හා දත්ත පද්ධතීන් ඒකාබද්ධ කර වඩාත් කාර්යක්ෂම, ඵලදායී හා ගුණාත්මක සේවාවක් ලබාගැනීම සඳහා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙමගින් වයස අවුරුදු 15ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියෙක් හඳුනාගැනීමට ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කිරීම අනිවාර්ය කිරීම, විදේශ පුද්ගලයෙකු හඳුනාගැනීමට ඔහුගේ විදේශ ගමන් බලපත්‍ර අංකය භාවිතා කිරීම අනිවාර්ය කිරීම, ආයතන අන්‍යෝන්‍ය වශයෙන් හඳුනාගැනීමට ව්‍යාපාර ලියාපදිංචි අංකය සහ ආයතන හිමි දේශීය අයගේ ජාතික හැඳුනුම්පත් අංකය හා විදේශිය අයගේ විදේශ ගමන් බලපත්‍රය අනිවාර්යය කිරීම සිදුවන බවද පැවසුවේය.

අදාළ දත්ත විධිමත් පරිදි අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ හුවමාරු කිරීමට හැකි වන පරිදි දත්ත ප්‍රමිතිකරණයට මෙමගින් ඉඩ සැලසෙන බවද, සම්පූර්ණ ඩිජිටල් ආර්ථිකයක් සඳහා ව්‍යූහාත්මක, ප්‍රමාණාත්මක හා ගුණාත්මක වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

Similar Posts