රාජ්‍ය සේවකයින්ට 2024 ජනවාරි මස සිට රු. 17,800ක ජීවන වියදම් දීමනාවක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

රාජ්‍ය සේවකයින්ට 2015 වසරින් පසු වැටුප් වැඩිවීමක් සිදුව නොමැති බව ත් එබැවින් රාජ්‍ය අයවැය සමබරතාව නොබිඳෙන අයුරින් රාජ්‍ය සේවකයිනට සහනයක් ලබා දීමට එලෙස යෝජනා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

“රජයේ සේවක සංඛ්‍යාව මිලියන 1.3ක් පමණ වෙනවා. ඔවුන්ගේ පවුල්වල සමස්ත සාමාජික සංඛ්‍යාව මිලියන 5කටත් වැඩියි. මේ රජයේ සේවකයින්ට දැනට හිමි වන්නේ රු. 7,800ක ජීවන වියදම් දීමනාවක්. අපි 2024 ජනවාරියේ සිට ජීවන වියදම් 17800ක් දක්වා රු. 10,000කින් වැඩි කරනවා.”

එම දීමනාව ලබාදෙන ආකාරය ද ජනාධිපතිවරයා එහිදී පැහැදිලි කළේ ය.

“මහා භාණ්ඩාගාරයට වසරේ ආදායම් ලැබීමට පටන් ගන්නේ පෙබරවාරි මාර්තු මාස වන විටයි. ඒ නිසා මේ දීමනා වැඩි වීම මාසික වැටුපට එකතු කිරීමට අපට සිදුවන්නේ අප්‍රේල් මාසයේ සිටයි. ජනවාරි සිට මාර්තු දක්වා හිඟ මුදල ලබන ඔක්තෝබර් මාසයේ සිට වාරික වශයෙන් මාස 6ක් තුළ ලබා දීමට අපි පියවර ගන්නවා.”

රජයේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, ඔවුන්ට දැනට ලැබෙන රු. 3,525ක ජීවන වියදම් දීමනාව, රු. 6,025ක් දක්වා රුපියල් 2,500කින් ඉහළ දමන බව ය.

රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන් ගණන 730,000ක් බව අද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

2024 වසරේදී රු. බිලියන 380ක් විශ්‍රාම වැටුප් වෙනුවෙන් වෙන් කරන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ 2024 අප්‍රේල් මාසයේ සිට සියලු ම සේවා අංශවල විශ්‍රාම වැටුපට වූ දායකත්වය සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය 8%ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරන බව ය.

“රාජ්‍ය සේවකයින්ගේ අයකර ගනු ලබන මුදල් වැන්දබු සහ අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. 2024 අප්‍රේල් මාසයේ සිට සියලු ම සේවා අංශවල මෙම විශ්‍රාම වැටුපට වූ දායකත්වය සඳහා වැටුපෙන් අඩුකරන ප්‍රතිශතය 8%ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. එම ගැලපීම මගින් වසරකට රු. බිලියන 9ක් එකතු කර ගැනීමට හැකි වෙනවා.”

More Stories