මයික්‍රොසොෆ්ට් ප්‍රධාන මෙහෙයුම් පද්ධති ඇතුළු යෙදවුම් සේවා රැසක බිඳ වැටීමක් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුලු ලොව පුරා රටවල් රැසක දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.

ඒ හේතුවෙන් ගුවන් ගමන්, බැංකු සේවා, රූපවාහිනී නාලිකා විකාශන කටයුතු ඇතුළු සේවා රැසක මෙහෙයුම් අනපේක්ෂිත ලෙස අඩාළ වුණි. අසල්වැසි ඉන්දියාව මෙන්ම ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, බ්‍රිතාන්‍ය, අමෙරිකාව, ස්පාඤ්ඤය, ජර්මනිය, මැලේසියාව, සිංගප්පූරුව, චීනය, ජපානය, පෝලන්තය, ඊශ්‍රායලය, නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමිර්හි ඩුබායි ඇතුළු නගර හා රටවල් රැසකට මෙම තාක්ෂණික බිඳ වැටීමෙන් දැඩි බලපෑම් එල්ල විය.

මෙම බිඳවැටීමෙන්, ශ්‍රී ලංකන් ගුවන් සේවයට සහ මෙරට පෞද්ගලික ආයතන හතරක මෙහෙයුම් කටයුතුවලටත් එල්ලවුණේ දැඩි බලපෑමකි. ඒ සමග, “බ්ලූ ස්ක්‍රීන් ඩෙත්” යනුවෙන් දෝෂයක් ලොව පුරා රටවල් රැසක පරිගණක තිර මත දිස්වීමත් සමඟ එය විදෙස් මාධ්‍යවල ප්‍රමුඛ පුවත බවට පත්වුණි.

පරිගණක ජාලවල මයික්ක්‍රොසොෆ්ට් යෙදවුම් අනපේක්ෂිත ලෙස ඇනහිටීම “බ්ලූ ස්ක්‍රීන් ඩෙත්” දෝෂය ලෙස දැක්වෙයි. තොරතුරු තාක්ෂණික බිඳ වැටීමේ බලපෑමෙන් ගෝලීයව අවලංගු කෙරුණු ගුවන් ගමන් වාර ගණන දහසක් පමණ වෙයි. අමෙරිකාවේ ඩෙල්ටා, අමෙරිකන් එයාර්ලයින්ස්, යුනයිටඩ් ඇතුළු ප්‍රධාන ගුවන් සමාගම්වලත් බ්‍රිතාන්‍යයේ ඊසි ජෙට්ස්, රයන් එයාර් ඇතුළු ගුවන් සමාගම්වල මෙහෙයුම් අඩපණ වීමට මෙය ඉවහල් විය.

එමෙන්ම ජපානයේ ජෙට් ස්ටාර්, ජේජු එයාර්, HK එක්ස්ප්‍රස් මෙන්ම ස්ප්‍රින්ග් ජැපෑන් ගුවන් සමාගම් ද ඉන්දියාවේ ඉන්ඩිගෝ, අකාස එයාර් ඇතුළු සමාගම්වලච සේවා කටයුතු මෙහි බලපෑමෙන් බිඳවැටුණු අතර ලොව රටවල් රැසකට බලපෑ මහා පරිමාණ තොරතුරු තාක්ෂණික බිඳ වැටීමෙන් එංගලන්තයේ ද දුම්රිය, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවා රැසකට ද දැඩි බලපෑමක් එල්ලවිය.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ ස්කයි නිව්ස් මාධ්‍ය ජාලයත්, BBC නාලිකාවට අනුබද්ධ CBBC මාධ්‍ය ජාලයත්, ඔස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලයත් බිඳ වැටී තිබුණි. මේ අතර පැරිස් ඔලිම්පික් උළෙලට සම්බන්ධ තොරතුරු තාක්ෂණික මෙහෙයුම් පද්ධතියටත් බලපෑම් එල්ලවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මහා පරිමාණ ගෝලීය තොරතුරු තාක්ෂණ බිඳ වැටීමට හේතු වී තිබුණේ, අමෙරිකාවේ ක්‍රවුඩ් ස්ට්‍රයික් සයිබර් ආරක්ෂණ සමාගමේ දෝෂයක් ලෙස හඳුනාගැණුනි. එය ක්‍රවුඩ් ස්ට්‍රයික් සමාගම නව පරිගණක ප්‍රතිවෛරසයක් අත්හදා බැලීමේදී සිදුවූ දෝෂයක් බව විදෙස් වාර්තා පවසයි.

 

Similar Posts