police

දුෂ්කර පළාත් වල සේවය කරන පොලිස් නිලධාරින්ට ඇඳිරි නීතිය නිසා සිය නිවෙස් ගැන සොයා බැලීමට නොහැකි වීමෙන් ඔවුන් දැඩි මානසික පීඩනයකට ලක්ව තිබේ.

විශේෂයෙන්ම උතුරු පළාතේ දුපත් ආශ්‍රිත පොලිස් ස්ථාන වල සේවය කරන පොලිස් නිලධාරින් මෙම තත්ත්වයට පත්ව ඇත.
මේ සම්බන්ධයෙන් එක් පොලිස් නිලධාරියෙකු අප වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර සිටියේ ඔහු දින 52 කින් නිවාඩු ලබා නොමැති බවය.

කොරෝනා වසංගතය හමුවේ සියලුම පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගු කෙරුණේ ඉකුත් 26 දිනය. ඒ අප්‍රේල් මස 10 වෙනිදා තෙක්ය. දැන් එම කාලය අප්‍රේල් මස 30 දක්වා දීර්ඝ කර තිබේ.

ඇඳිරි නීතිය නිසා මේ වන විට දුපත් අතර ගමනා ගමනයද ඇණ හිට තිබෙන බවත් තමන්ට නිවෙස් වලට මුදල් යැවිමට බැංකු පහසුකමක්වත් නොමැතිව දුපත් වලටම වි කාලය ගත කිරිමට සිදුව ඇතැයි පීඩාවට පත්ව සිටින පොලිස් නිලධාරින් පවසයි.

ඇඳිරි නිතිය නිසා තමන්ගේ පවුල් වලට අවශ්‍ය ද්‍රව්‍යවත් සිය භාර්යාවන්ට, දරුවන්ට සපයා ගත නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බවත් ඔවුන් පවසයි.

මෙම ප්‍රදේශ වල ස්ථාන ගත වී සිටින නාවික හමුදා නිලධාරින්ට නම් ඔවුන්ට හිමි නිවාඩු සාමාන්‍ය ලෙස හිමිවන බවත් එමෙන්ම ඔවුන්ගේ පවුල් ගැන සොයා බැලිමටද නාවික හමුදා සුබ සාධන කොට්ඨාශයෙන් පියවර ගෙන තිබෙන හෙයින් එම නිලධාරින්ට නිදහසේ රාජකාරි කිරිමේ අවකාශයක් ගොඩනැඟි ඇති බවද පීඩාවට පත්ව සිටින පොලිස් නිලධාරින් පෙන්වා දෙයි.

අවම වශයෙන් අසරණ වී තිබෙන තම නිවෙස් වලට නිවෙස් පිහිටා තිබෙන ළඟම පොලිස් ස්ථානය මඟින්වත් ගොස් යම් ආධාරයක් උපකාරයක් කිරිමට හැකි නම් තමන්ට කිසිදු පිඩාවකින් තොරව රාජකාරි කළ හැකි බවද ඔවුන් පවසයි.

එහෙයින් මේ පිලිබඳ වැඩ බලන පොලිස්පතිවරයාගේ අවධානය යොමු කරවන ලෙසත් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ශානිකා

More Stories