මැදවච්චිය ඉකිරිගොල්ලෑව අන්නූර් මහ විද්‍යාලයේ විදුහල්පතිවරයාට හදිසියේ ස්ථානමාරුවක් ලබාදිමට විරෝධය පලකරමින් එම විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් අද (20) විද්‍යාලය ඉදිරිපිටින් පිහිටි යාපනය මහනුවර ඒ නමය ප්‍රධාන මාර්ගයේ සාමකාමී විරෝධතාවයක නිරතවුහ.

එම විද්‍යාලයේ විදුහල්පති අයි.එම්.නජීම් මහතාට හදිසියේම වෙනත් විදුහලකට ස්ථාන මාරුවක් ලබාදිම සම්බන්ධයෙන් දින කිහිපයක සිට දෙමාපියන් දැඩි නොසන්සුන්කාරි තත්වයක සිටි අතර අද (20) උදෑසන පාසල ආරම්භවිමට පෙර දෙමාපියන් 1500 කට ආසන්න ප්‍රමාණයක් විදුහල ඉදිරිපිටට රැස්ව සිටි අතර පසුව වැඩිමහල් දරුවන් සමග එක්වි සිය විදුහල්පතිවරයා නැවත විදුහලට ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවය ආරම්භ කලහ.

විරෝධතාවට සහය දැක්විම සදහා බෝගහවැව විහාරස්ථානයේ විහාරාධිපති හිමිපානන් ප්‍රමුඛ මහා සංඝරත්නය අල්නජා කුලගන සමිතියේ මවුවරුන් විශාල පිරිසක් ඉකිරිගොල්ලෑව ජුම්මා මුස්ලිම් පල්ලියේ සභාපතිවරයා ඇතුළු නිලධාරින් විශාල පිරිසක් සමග ආදි සිසුන් හා පාසල් සංවර්ධන සමිතියේ නිලධාරින් ඊට එක්ව සිටියහ.

ප්‍රධාන මාර්ගයේ ගමන්කල කිසිදු රථවාහනයකට බාධාවක් සිදුනොවන අන්දමින් ඔවුන් විරෝධතාවය දියත්කල අතර ඔවුන් ඉල්ලා සිටියේ විද්‍යාලයේ අධ්‍යාපනය ඉහල මට්ටමකට ගෙනා අල්නූර් විද්‍යාලයේ විදුහල්පතිවරයාව අත්තනෝමතිකව ඉවත් කිරිමට ගෙන ඇති තීන්දුව වහාම ඉවත් කිරිමට අධ්‍යාපන බලධාරින් පියවර ගතයුතු බවයි.

විරෝධතාවයට එක්ව සිටි පාසල් සංවර්ධන සමිතියේ ප්‍රධාන ලේකම් එස්.එච්.ඒ.කිරාම් මහතා.දෙමාපියන් විශාල පිරිසක් පාසල ඉදිරිපිටට රැස්වෙලා ඉන්නේ විදුහල්පතිවරයාට වෙච්ච අසාධාරණය නිසා.විදුහල්පතිතුමන් තමයි උසස් පෙළ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඉහල මට්ටමකට ගත්තේ.මේ පාසලෙන් පසුගිය සමයේ විශ්ව විද්‍යාලවරම් ලැබුවේ තුන්දෙනයි.

නමුත් පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයෙන් ළමයි 25ක් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලැබුවා.එක ශ්‍රේණියේ ඉදන් උසස් පෙළ දක්වා දරුවන් 1108 දෙනෙකු පාසලේ අධ්‍යාපනය ලබනවා.උසස් පෙළ සිසුන් 250ක් අධ්‍යාපනය ලබනවා විදුහල්පතිවරයා හදිසියේ අත්තනෝමතික විදියට මාරුකිරිමත් සමග පාසලේ සියළුම කටයුතු ඇන හිටලා යනුවෙන් ඒ මහතා පැවසුවේය.

විරෝධතාවය පැවති අවස්ථාවේ එහි පැමිණි කැබිතිගොල්ලෑව සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් ගාල්ලගේ මහතා හා මැදවච්චිය පොලිසියේ ස්ථානාධි පතිවරයා ඇතුළු නිලධාරින් පැමිණ අදාල ස්ථානයට ආරක්ෂාව ලබාදුන් අතර ඔවුන්ගේ සාමකාමි විරෝධතාවයට හේතු විමසිමත් සිදුකලහ.

අන්නූර් මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට වෙනත් පාසලකට ස්ථානමාරු ලබාදීමත් සමග එම විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවත්වෙන බවට උතුරුමැද  පළාත් ප්‍රධාන ලේකම් එච්.එම්.පී.බංඩාර මහතාට සැලවීමත් සමග අන්නුර් මහ විද්‍යාලයේ හිටපු විදුහල්පති අයි.එම්.නජීම් මහතා ප්‍රධාන ලේකම් කාර් යාලයට කැදවා ඔහුට ලබාදුන් පත්විම් ලිපියේ අවලංගුකර නැවතත් එම විද්‍යාලයට පත්විම ලබාදිමට කටයුතු කිරිමත් සමග විරෝධතාවය අවසන් කෙරුණි.

එම විරෝධතාවය අවසන් කිරිම සම්බන්ධයෙන් අදහස් දැක්වු පාසල් සංවර්ධන සමිතියේ ප්‍රධාන ලේකම් එස්.එච්.ඒ.කිරාම් මහතා.විදුහල්පතිතුමාට නැවතත් පාසල ලබාදිලා තියනවා.ඒ නිසා විරෝධතාවය අවසන් කරනවා.මෙම විරෝධතාවයට සහය දුන්න සැමට ස්තුතියි.එවගේම පලාත් ලේකම්තුමාටත් ස්තුතිය පලකරනවා යනුවෙන් ඔහු පැවසුවේය.

අනුරාධපුර -මහේෂ් විජේසුරිය

More Stories