පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය රජය සහ පුරවැසියන් අතර පාලමක් ලෙස කටයුතු කරන බවත් විදේශ ප්‍රතිපත්ති සම්පාදනයේ දී ජනතාවගේ අවශ්‍යතා සහ අපේක්ෂා සැලකිල්ලට ගතයුතු බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම ගැටුම් වැළැක්වීමේ සහ විසඳීමේ මෙවලමක් ලෙස මෑත කාලයේ දී පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රික භාවය ප්රමුඛත්වයට පත්ව ඇති බව ද කථානායකවරයා ප්‍රකාශ කළේය.
ජිනීවාහි පැවැති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 148 වැනි සමුළුවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා මේ බව ප්‍රකාශ කළේය. ව්‍යවස්ථාදායක මට්ටමින් ජාතීන් අතර සංවාදයට සහ අවබෝධයට පහසුකම් සැලසීම හරහා පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකයන් සහජීවනයෙන් යුතු ලොවක් නිර්මාණය කිරීමට දායක වන බව කථානායකවරයා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්රයේ වැදගත් මෙහෙවරක් ඉටු කරන බවද කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. තවමත් පුළුල් ලෙස අධ්‍යයනය කර නොමැති වුවද, මෑත කාලීන විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සබඳතාවලට අදාළ ගැටලුවලදී පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ මැදිහත්වීම වර්ධනය වී ඇති බව ද අබේවර්ධන මහතා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අත්දැකීම් පිළිබඳව අවධානය යොමු කළ කථානායකවරයා 1949 පෙබරවාරි 09 වැනි දින ශ්‍රී ලංකාව අන්තර් පාර්ලිමේන්තු සංගමයට එක් වූ බව පෙන්වා දුන්නේය. එතැන් පටන් ශ්‍රී ලංකාව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සමුළු සඳහා ක්‍රියාකාරීව සහභාගී වූ අතර ශ්‍රී ලංකාවට සම්මන්ත්රණ සහ වැඩමුළු කීපයක් පැවැත්වීමට අවස්ථාව ලැබුණු බව සිහිපත් කළේය. තවද, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට විදේශ ප්රතිපත්තිවල සියලු අංශ විමර්ශනය කිරීමටත්, නීති සම්පාදන කටයුතු මෙන්ම විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන දෙපාර්තමේන්තු සහ ආයතනවල වියදම් ඇස්තමේන්තු පරීක්ෂා කිරීමටත් පුළුල් බලයක් දී ඇති බවද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
මෙහිදී පැවැති ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම්, සාමය සහ ජාත්‍යන්තර ආරක්ෂාව, තිරසාර සංවර්ධනය යන අංශ පිළිබඳ ස්ථාවර කමිටු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගි වෙමින් සිය අත්දැකීම් හා දැනුම හුවමාරු කර ගැනීම සිදුවිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, අශෝක් අබේසිංහ, සුමිත් උඩුකුඹුර, මංජුලා දිසානායක සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්ම මහත්මීන්ගෙන් මේ දූත පිරිස සමන්විත විය.