අනාගතයට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය දිරිගැන්වීමක් ලබා දීම අරමුණු කර ගනිමින් ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහනක් පසුගියදා ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරිනී අශෝකා අමරතුංග මහත්මියගේ සම්බන්ධීකරණයෙන් යුතුව එම කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරි මාධව මුතුකුඩආරච්චි මහතා විසින් පවත්වන්නට යෙදුණු මෙම වැඩසටහන සඳහා ආබාධිත ජනතාව ඔවුන්ගේ මවුපියන් හෝ භාරකරුවන් සමඟින් සහභාගි වූහ. තම ආබාධිත බව හේතුවෙන් මානසික වශයෙන් කඩාවැටීමකට ලක්ව සිටින මෙම පිරිස් එම හැඟීමෙන් මුදා සිය නිවෙස් තුළ යහපත් ආර්ථික තත්ත්වයක් ඇතිකරලීම වෙනුවෙන් අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දීමත්, රැකියා කිරීමට සුදුසු තත්ත්වයක සිටින පුරවැසියන් හඳුනාගෙන ඔවුන් සුදුසු රැකියා වෙත යොමු කිරීමත් ප්‍රධාන වශයෙන් මෙහිදී ඉලක්කගත අරමුණු අතරට එක්වූ අතර, වැඩසටහන් මාලාවක් වශයෙන් මෙය ඉදිරියට ගෙනගොස් කැපීපෙනෙන ප්‍රගතියක් අත්කර ගැනීමට ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරියේදී බලාපොරොත්තු වේ.

More Stories