මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ එළවළු දන්සලක් මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ (08) දින පැවැත්විණි. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු එළවළු ව්‍යාපාරික සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයකම හිමිකරුවෙකු වන ව්‍යාපාරික ආනන්ද විජේරත්න මහතා විසින් තෙවැනි වතාවට මෙම එළවළු දන්සල සංවිධානය කර තිබුණි.

දන්සල තිබූ ස්ථානයේ සිට මහරගම දෙසට කිලෝ මීටර දෙකකට ආසන්න දුරක් මාර්ගය අයිනේ ජනතාව පෝලිම් ගැසී සිටින ආකාරය ද දක්නට ලැබුණි.

ඉකුත් කොවිඩ් වසංගත සමයේදී රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමැති එළවළු තොගයක් හෝමාගම ප්‍රදේශයේ ජනතාවට බෙදාදීමත් පසුව වසර දෙකකට පමණ පෙර කොට්ටාව ප්‍රදේශයේ දී අට දහසකට ආසන්න ජනතාවක් වෙනුවෙන් මේ ආකාරයෙන්ම ඒ මහතා විසින් එළවළු පරිත්‍යාග කිරීම සිදු කර තිබුණි.

මහා සංඝරත්නයේ ආශිර්වාද මත සවස 4ට පමණ දන්සැලෙහි කටයුතු ආරම්භ කළ අතර එළවළු ලබා ගැනීම සදහා අදාළ දන්සල පැවැත්වෙන ස්ථානයට ජනතාව දහවල් 11 සිටම පැමිණ පෙළ ගැසී සිටි ආකාරයක් දක්නට ලැබුණු අතර මධ්‍යම රාත්‍රි වනතුරුත් මෙම එළවළු දන්සල පවත්වන බව ව්‍යාපාරික ආනන්ද විජේරත්න මහතා පැවසීය. මෙහිදී එක් අයෙකුට එළවළු වර්ග 16 ක් අඩංගු පාර්සලයක් ලබා දීමට කටයුතු කළ බවත් දන්සල සඳහා රුපියල් ලක්ෂ පනහකට ආසන්න මුදලක් වැය වෙන්නට ඇති බවට තමන් සිතන බවත් ඒ පිළිබඳව වැය වූ මුදල ගණනය නොකළ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රමුඛ ආරාධිතයෝ රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

එහිදි ව්‍යාපාරික ආනන්ද විජේරත්න මහතා ප්‍රමුඛ පවුලේ පිරිස විසින් පැමිණි සිටි පිරිසට එළවළු පරිත්‍යාග කළ ආකාරය ඡායාරූපවලින් දැක් වේ.

Similar Posts