ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මන්නාරම දිස්ත්‍රික් “තරුණ සමුළුවට” සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ පසුගිය වසර 04ක කාලය තුළ රැකියා ලබාදීමට නොහැකි වූ අතර රැකියා අවස්ථා නොලැබුණු සියලු දෙනාට ඉදිරියේදී ක්‍රියාත්මක කරන නව ආර්ථික වැඩපිළිවෙළ තුළින් නව රැකියා අවස්ථා උදාවන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

රජයේ මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යමින් තමන්ගේත්, රටේත් අනාගතය යහපත් කර ගන්නවාද යන්න තරුණ පරපුර තීරණය කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වාදුන්නා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම දිස්ත්‍රික් ව්‍යාපාරික ප්‍රජාව අතර හමුවක් ද ඊයේ (16) මන්නාරමේදී පැවැත්වුණා.

වත්මන් ආණ්ඩුව හඳුන්වා දී ඇති ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නොකර, ඉදිරියට ගෙන යන්නේ නම් ඉදිරියේ දී රටට ආයෝජකයන් විශාල පිරිසක් පැමිණෙනු ඇති බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

කලින් කලට ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නොකොට එකම ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන යන්නේ නම් රටක් ලෙස ජයග්‍රහණය කළ හැකි බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී තිබෙනවා.

ආර්ථික පරිවර්තන නීතිය හරහා නව ආර්ථික ප්‍රතිපත්තිය රට හමුවේ තබා ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඒ ඔස්සේ ඕනෑම ආණ්ඩුවකට රට ඉදිරියට ගෙන යාමට හැකියාව තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙරට ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලන විසදුම් සෙවීමට උත්සාහ කළද ආර්ථික විසඳුම් සෙවිමට උත්සාහ කර නොමැති බවත්, රට ගොඩනැගිය හැක්කේ විධිමත් ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් පමණක් බවත් සඳහන් කළා.

Similar Posts