දකුණු දිග ආසියාවේ පැරණිතම නීති අධ්‍යාපන ආයතනය වන ශ්‍රී ලංකා නීති විද්‍යාලය ආරම්භ කොට වසර 150ක් පිරීම නිමිති කරගනිමින් විශේෂ ජාත්‍යන්තර සම්මේලනයක් සංවිධාන කර තිබේ.

එය එළැඹෙන 28 හා 29 යන දෙදින කොළඹ ජාත්‍යන්තර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා නීති විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන එම ජාත්‍යන්තර සම්මේලනය අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා, සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ මහාධිකරණ විනිසුරු ඇන්සෙල්මෝ රෙයිස්, ඔස්ලෝ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය පිළිබඳව මහාචාර්ය ක්‍රිස්ටිනා වොයිම්, එංගලන්ත නීතිඥ සංගමයේ සභාපති සෑම් මවුන්ටන්, ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර නීති විශාරදයන් රැසක් සහභාගි වීමට නියමිතව තිබේ.

එහිදී සමුද්‍ර ආරක්ෂන නීතිය, අල්ලස් හෝ දුෂණ විමර්ශන නීතිය, පරිසර හා ස්වභාව සම්පත් ආරක්ෂණ නීතිය, ළමා අපචාර මැඬලීම සම්බන්ධයෙන් වන නීතිය, ඇතුළු වැඩසටහන් 15ක් පැවැත්වීමට නියමිත බවයි කොළඹ නීති විද්‍යාලයේ විදුහල්පති ජනාධිපති නිතිඥ ප්‍රසන්න ලාල් අල්විස් මහතා කියා සිටියි.

මෙම ජාත්‍යන්තර සම්මේලනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (19) පැවති අතර එහිදී අදහස් දක්වමින් ජනාධිපති නිතිඥවරයා මේ බව ප්‍රකාශ කරනලදි.

එම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය විදුහල්පති නීතිඥ ශෙහාන් පෙරේරා, ජනාධිපති නිතිඥ අසංක ගුණවංශ, නීතිඥ ශෙහාන් ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගි සිටියි.

More Stories