සංචරණ සීමා ලිහිල්  කිරීමෙන් පසු අත්‍යවශ්‍ය සේවාවන් වෙනුවෙන් සීමිත ප්‍රවාහන සේවාවක් පළාත් තුළ ක්‍රියාත්මක  බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ජූනි 21 වන දින සිට අදාල දින තුන තුළදී ලංකා ගමනා ගමණ මණ්ඩලයේ බස් රථ, පුද්ගලික බස් රථ  හා දුම්රිය ගමන් කිහිපයක් යොදවන නමුත් කිසිදු අවස්ථාවකදී පළාත් අතර සංචරණයට එහිදී අවස්ථාව හිමිනොවන  බව  මහනුවර නුගවෙලදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.

මෙම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරනුයේ අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් යැයි කී අමාත්‍යවරයා එම පොදු ප්‍රවාහනය තුළින් අනවශ්‍ය ගමන් යාමට අවස්ථාව හිමි  නොවන බව ද සදහන් කළේය.

එහිදී මහනුවර සිට කොළඹ දක්වා කිසිදු සෘජු  ගමන්වාරයක් ක්‍රියාත්මක නොවන බව සදහන් කළ අමාත්‍යවරයා අතරමැදි ගමන්වාර රහිතව උදෑසන ගමන්වාරය සහ යළි පස්වරුවේ ගමන්වාරයකින් පමණක් යුතු දුම්රිය 17ක් අත්‍යවශ්‍ය මගී ප්‍රවාහනය වෙනුවෙන් එක් කර ඇතැයි   කීවේය.

අඹේපුස්ස, මීරිගම, වේයන්ගොඩ සහ ගම්පහ  සිට කොළඹ කොටුව දක්වා දුම්රිය හතරක් ධාවනය වන බව කී අමාත්‍යවරයා පස්වරුවේ එම දුම්රිය  සිය ආරම්භ ස්ථානය දක්වා පමණක් ගමන් ගන්නා බව ද කීහ.

අවිස්සාවේල්ලෙන් දුම්රිය දෙකක් සහ  පාදුක්කෙන් දුම්රිය දෙකක් ගමන් ආරම්භ කරන  බව සදහන් කළ ඒ මහතා, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය පහක් ධාවනයට සැලසුම් කර ඇතැයි කීවේය. ඒ අනුව  හික්කඩුව දක්වා දුම්රිය දෙකක් සහ මීගමුව දක්වා දුම්රිය දෙකක් ද ඊට අයත්වන බව ඒ මහතා කීහ.

සංචරණ සීමා ලිහිල් කළ දින තුන තුළදී මෙම දුම්රිය ධාවනය වන නමුත් මේ දක්වා අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් ක්‍රියාත්මක වූ ප්‍රවාහන සේවාවන් ඒ අයුරින්ම වෙනස්වීමකින් තොරව ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ අතර ඉන්ධන මිල ඉහළයාම හමුවේ බස් ගාස්තු ඉහළ නැංවීම සාධාරණ විසදුමක් නොවන බව පුද්ගලික බස් රථ හිමියන් ද පිළිගෙන ඇති නිසා ඉදිරියේදී ඔවුන් සමඟ සාකච්ඡා කොට සුදුසු විකල්පයක් ලබා දෙන බව ද අමාත්‍යවරයා කීවේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

 

Similar Posts