sanath-jayasuriya

සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනු ලබන්නේ, මෙම පත්වීම 2024 ඔක්තෝබර් 01 වැනිදා සිට බලාත්මක වූ අතර එය 2026 මාර්තු 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි.

සනත් ජයසූරිය මහතා පසුගිය ජූලි මාසයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ‘අතුරු ප්‍රධාන පුහුණුකරු’ ලෙස කටයුතු කළේය.

ඒ, එවකට සිටි ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වවුර්ඩ් මහතාගේ ධුර කාලය අවසන් වීම හේතුවෙනි.

ජයසූරිය මහතාගේ පුහුණුකරු ධූරය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියක් සහ නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියක් තරග 2-0ක් ලෙස ජය ගත්තේය.

එංගලන්තය සමග පැවති ටෙස්ට් තරගාවලිය තරග 2-1ක් ලෙස එංගලන්තත ජය ගත්ත ද තුන්වන ටෙස්ට් තරගය ජය ගත් ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව වසර 10කට පසු ටෙස්ට් තරගයක් ජය ගැනීමට සමත් විම විශේෂත්වයක්.

ඒ අනුව, ජයසූරිය මහතාගේ පුහුණුකරු ධුරය යටතේ කණ්ඩායම දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු පත් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ආයතනය නිවේදනය කළේය.

55 හැවිරිදි වියේ පසුවන සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙක් ද වන අතර ඔහු 1989 සිට 2011 දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළේය.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 110ක්, එක්දින තරග 445ක් සහ පන්දුවාර 20යි 20 තරග 31ක් ක්‍රීඩා කර තිබේ.

More Stories