කලක් යුද පෙරමුණේ සිටි උතුරු පළාතේ වව්නියාව නගරය අද සාමකාමී සහ කාර්යබහුල නාගරික මධ්‍යස්ථානයකි. එහි භෞතික යටිතල පහසුකම් දෙස බලන විට, කඩාවැටුණු ගොඩනැගිලි සහ අපිරිසිදු ගන්ධයක් නිකුත් කරන විවෘත කාණු සමඟ, නගරය බොහෝ දේ අපේක්ෂාවෙන් පසුවෙයි. පොළොන්නරුව හා හම්බන්තොට නගර මෙන් පරිවර්තනය කිරීමට ආණ්ඩු බලය හිමි දේශපාලන අනුග්‍රාහකයකුගේ වාසනාවක් වව්නියාවට ලැබී නැත. එහෙත් නගරයම සාමකාමී ය. එය වරක් බෝම්බ හෙලීමේ තර්ජනයට ලක්ව තිබූ අතර, සොල්දාදුවන් දහස් ගණනක් ඉදිරිපෙළට හෝ දකුණේ ඔවුන්ගේ නිවෙස් කරා යන ගමනේදී මෙම නගරය හරහා සංක්‍රමණය වූ බව දැන් සිතීම දුෂ්කර ය. අතීතයේ එහි ආරක්‍ෂක මුරපොළවල් විශාල සංඛ්‍යාවක් තිබූ අතර, ඒවායේදී පරීක්‍ෂා කෙරෙන විට බස් රථවලින් බැස තැනින් තැන පයින් ගමන් කළ යුතු විය.

පසුගිය සතියේ වව්නියාව විශ්වවිද්‍යාලය විසින් කෘත්‍රිම බුද්ධිය (AI) සහ එය සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යෑමට දායක විය හැකි ආකාරය පිළිබඳ අන්තර්ජාතික සාම සමුළුවක් පැවැත්වීය. මෙය නව මාතෘකාවක් වූ අතර, දේශීය සහභාගිවන්නන් බොහෝදෙනෙකුට එය පළමු අත්දැකීම විය. යාපනය විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ලෙස පැවැතී, පසුව පුළුල් කර, 2021 දී පමණක් ආරම්භ කරන ලද මෙම විශ්වවිද්‍යාලය, රජයේ විශ්වවිද්‍යාල අතුරින් නවතම විශ්වවිද්‍යාලය වේ. එහි බොහෝ ගොඩනැඟිලි නව්‍ය ඒවා වන අතර, ඉඩකඩ සහිත භූමි ප්‍රදේශයක ස්ථාපිත කර ඇති විශ්වවිද්‍යාලය, හරිත පැහැ ගස්වලින් පිරී ඇති, පරාවර්තනයට සහ නිරවුල් චින්තනයට හිතකර ස්ථානයක් වේ. විදේශීය සහභාගිවන්නන්, විශේෂයෙන්ම අසල්වැසි ඉන්දියාවේ නියෝජිතයන්, කටුනායක ගුවන් තොටුපළේ සිට ඔවුන්ගේ ගමන අවසානයේ වව්‍නියාවේ සාමකාමී බව විසින් පිළිගනු ලැබීය.

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ සම්මන්ත්‍රණයක් චිත්තවේගයන්ගෙන් තොර, මොළයේ සහ බුද්ධියේ අත්දැකීමක් වනු ඇතැයි අපේක්ෂා කරන්නට ඇත. කෙසේවෙතත්, කෘත්‍රිම බුද්ධිය පිළිබඳ බුද්ධිමය සහ තාර්කික කතිකාවට අමතරව සමුළුව පොහොසත් සංස්කෘතික අත්දැකීමක් බවට පත්කිරීමට සංවිධායකයන් කටයුතු කර තිබිණි. වව්නියාව විශ්වවිද්‍යාලයේ සංවිධායකයන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු ලෝකයේ විවිධ රටවලින් පැමිණි කථිකයන්ගේ සමාරම්භක කතාන්දර සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත විය. ආරම්භක නැටුම් දෙමළ, සිංහල සහ මුස්ලිම් නර්තන ශිල්පීන්ගේ සම්මිශ්‍රණයක්විය. එය කලාපයේ බහුත්වය සහ සමාන ප්‍රවේශයක් ලබාදීම පිලිබඳ ප්‍රශ්නයට සංවේදී බව ප්‍රදර්ශනය කළේය.

ධණාත්මක නියැලීම

සම්මන්ත්‍රණයේ පැවති සංස්කෘතික සංදර්ශනවල ප්‍රධාන ලක්ෂණයක් වූයේ ගැටලුවලට මුහුණදෙන ප්‍රජාවන් ඒවාට ඇතුළත් කිරීම කෙරෙහි අවධානය යොමුකිරීමයි. උතුරේ සහ නැඟෙනහිර සමහර විද්වත් ප්‍රජාවන් උත්සාහ කරන්නේ, කොන්වූවන් ප්‍රධාන ධාරා සමාජයේ අවධානයට යොමුකිරීමට ය. එවිට ඔවුන් නොසළකා හරිනු නොලබන අතර, නූතන සමාජයේ ඉල්ලීම්වලට අනුගත වෙමින් ඔවුන්ගේ සම්ප්‍රදායන් සහ සංස්කෘතීන් පවත්වා ගැනීමට උත්තේජනයක් ලැබෙනු ඇත. යුද්ධයේ බරපතලකම අත්විඳින ලද සහ වෙනත් සහයෝගයක් නොමැතිව සාම්ප්‍රදායික භාවිතයන් තුළින් ඇති වූ කම්පනය සමඟ සාර්ථකව කටයුතු කරන වැදි ප්‍රජාව ඔවුන්ගේ සංගීත භාණ්ඩ සමග සහ නැගෙනහිර වෙරළේ (මඩකලපුව) බර්ගර් ජාතිකයන් මෙන්ම වන්නි ප්‍රදේශයේ එම ප්‍රජාවන්ගේ නැටුම්, සම්මන්ත්‍රණයේ සංස්කෘතික සංදර්ශනයේදී ඉදිරිපත් කරන ලද ප්‍රාසංගික අත්දැකීම්වලට ඇතුළත් විය.

පසුගිය දශක හතරක පහක කාලය තුළ මෙවැනි එකමුතුකමේ සහ සමාන ප්‍රවේශයක් ලබාදීමේ ප්‍රදර්ශනයක් වව්නියාවේදී පැවැත්වීමට හැකිවනු ඇතැයි සමුළුවට සහභාගි වූ අන්තර්ජාතික සහභාගිවන්නන් කිසිසේත්ම නොසිතන්නට ඇත. පසුගිය දශක කිහිපය තුළ, යුද්ධයේ වාර්ගික ස්වභාවය හේතුවෙන්, එක් ප්‍රජාවක් අනෙක් ප්‍රජාව දුටුවේ, තොරතුරු දෙන්නකු හෝ බෝම්බ ප්‍රවාහකයකු හෝ අනෙකාට එරෙහිව ප්‍රචණ්ඩත්වයට උසිගන්වන්නකු විය හැකි, ආරක්ෂක තර්ජනයක් ලෙසය. වසර 15කට පෙර යුද්ධය අවසන්වීමත්, වසර දෙකකට පෙර ආරම්භ වූ ආර්ථික අර්බුදයත් සාමාන්‍ය ජනතාවගේ චින්තනයේ විශාල පෙරළියක් ඇති කිරීමට හේතු වී ඇති බව වව්නියාව විශ්වවිද්යාලයේ පැවැති සමුළුවේදී පිළිබිඹු විය. එදාට සාපේක්ෂව අනෙක් ප්‍රජාව කෙරෙහි සැකය සහ සතුරුකම අද පවතින්නේ අඩු මට්ටමකය.

යුද්ධය අවසන්වීම නිසා මාර්ග විවෘතවී, රටේ සෑම ප්‍රදේශයක්ම සෑම කෙනකුටම ප්‍රවේශ විය හැකි තත්ත්වයට පත් වී තිබේ. අන්තර් ක්‍රියා කිරීමට ඇති හැකියාව මගින් විවිධ ප්‍රජාවන්ට අයත් පුද්ගලයන් එකිනෙකා කෙරෙහි ඇති ස්වාභාවික සුහදතාවය ඉස්මතු කරයි. ආර්ථික අර්බුදය සහ ජීවන වියදම ඉහළ යෑම විසින් නිර්මාණය කෙරුණු ආර්ථික කඩාවැටීම නිසා ඇති වූ දුක්ඛිත අත්දැකීම් බෙදාහදා ගැනීම හා මාස කිහිපයක් ඇතුළත දිළිඳුකම දෙගුණ තෙගුණවීම, ප්‍රජාවන් අතර දුරස්ථභාවය අඩුකර ඇත. ඔවුන් තම ජීවිතයේ ප්‍රධාන ප්‍රශ්නය වාර්ගික ප්‍රශ්නයක් ලෙස නොව ආර්ථික ප්‍රශ්නයක් ලෙස දකින්නට පටන් ගෙන ඇත. ප්‍රශ්නයට හේතුව අනෙක් ප්‍රජාව නොව, තම බලතලවලින් අනවශ්‍ය ප්‍රතිලාභ ලබාගන්නා පුද්ගලයන් රටේ බලයට පත්ව සිටීමයි.

හවුල්කාරිත්වය වෙනස් කිරීම

නොසළකා හරින ලද සහ වෙනස්කොට සැළකීමට ලක් වූ මායිම්වල සිටින ප්‍රජාව සමඟ වැඩ කිරීමට ඇති අධිෂ්ඨානය රට ගොඩනැගීමේ ක්‍රියාවලියට අවශ්‍ය සමාන ප්‍රවේශයක භාවිතය පෙන්නුම් කරයි. වව්නියාව විශ්වවිද්‍යාලයේ දී ප්‍රදර්ශනය වූ සමාන ප්‍රවේශය පිළිබඳ ආචාරධර්ම ප්‍රධාන ධාරාවේ සමාජය තුළ තිබිය යුතු තරමින් පැවැතී නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිශ්චිතව දක්වා ඇතත්, සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම ජාතික ගීය ගායනා කිරීම පවා දේශපාලන ගැටලුවක්ව තිබෙන රටක් ලෙස ශ්‍රී ලංකාව පවතී. දකුණු අප්‍රිකාව, නවසීලන්තය, කැනඩාව සහ බෙල්ජියම වැනි රටවල් කිහිපයක් ඔවුන්ගේ ජාතික ගීය විවිධ භාෂාවලින් ගායනා කරයි.

1948 නිදහස උදාවීම හැර, ජාතික දින උත්සවයකදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරනු ලැබුවේ 1949දී එක්වරක් පමණි. ඉන් අනතුරුව එය සිංහලෙන් පමණක් ගායනා කර තිබූ අතර, එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව එය භාෂා දෙකෙන්ම ගායනා කරන බවට 2016 වසරේදී සහතික විය. මෙය දැඩි විවේචනයට ලක් වූ අතර 2019 පාලනය වෙනස් වූ විට මෙම ක්‍රියාව නතර විය. එය නැවත පණ ගැන්වුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුවය. සංහිඳියාව, ජනවාර්ගික ගැටුමට විසඳුමක් සහ බලය බෙදාගැනීමේ අවශ්‍යතාවය විවෘතව ඉදිරිපත් කිරීමට කැමති ජාතික දේශපාලන නායකයන් අතළොස්සක් අතර ජනාධිපතිවරයා ද එක් අයෙකි. 2022 දී ජනාධිපතිධූරයට පත් වූ දා සිට ජනාධිපති වික්‍රමසිංහ ජනවාර්ගික ගැටුම විසඳා දේශපාලන විසඳුමක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් සිටියි. එහෙත් ජනවාර්ගික ගැටුම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව දක්නට ලැබෙන්නේ සුළු ප්‍රගතියක් පමණකි.

රටේ ආර්ථික පරිවර්තනයට පහසුකම් සැලසීමේ අරමුණින් පසුගිය මාස 14 තුළ නව නීති 42ක් පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය. මෙම පරිවර්තනය ක්‍රියාත්මක කිරීම සඳහා අතිරේක නීති 62ක් සම්මත කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. මෑතක දී ජනාධිපතිවරයා කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් තහවුරු කරන නව පනත් දෙකක් පිළිබඳවද අනාවරණය කළේය. ජනවාර්ගික ගැටුම ආමන්ත්‍රණය කරන නව නීති සම්මත කර ගැනීමට නොහැකිවීමට හේතුව පාර්ලිමේන්තු බහුතරයේ සහයෝගය මේ සඳහා නොලැබීම විය හැකිය. මීළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂයේ නායකත්වය සමඟ ජනාධිපතිවරයා කළ සාකච්ඡා සාර්ථක නොවූ බවට පසුගිය දා පළ වූ පුවත්වලින් පෙනීයන්නේ, බැහැර කිරීම වෙනුවට සමාන ප්‍රවේශයක් ලබාදීම සහතික කිරීම මත ජාතික සමගිය ඇති කිරීමට නව දේශපාලන හවුලක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයි.

More Stories