විභාග දෙපාර්තමේන්තුවේ සහතිකයට ජීවිතය අසමත් කිරීමට කිසි ලෙසකත් ඉඩ නොතබන බවත් ඉදිරියේදී තරුණ තරුණයන්ට අවස්ථා රැසක් විවර කර දීමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව ඉදිරියේදී සාමාන්‍ය පෙළ සහතිකය නිසා වසර දහතුනක අධ්‍යාපනය නවතා දැමීමට කිසි ලෙසකවත් ඉඩ නොතබන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

නවීන කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සමඟ 2048 වන විට සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ගමනට රජය මේ වන විට අවතීරණ වී තිබෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.

එම ගමන සමඟ ඉදිරියට ගොස් රට ජයග්‍රහණය කිරීමේ වගකීම තරුණ පරපුරට පැවරෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා සටන් පාඨ හා තර්කවලට යටවී රටේ අනාගතය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අමතක නොකළ යුතු බව ද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අනුරාධපුර, කූඹිච්චංකුලම වැව් ඉස්මත්තේදී පැවති “මගෙන් පටන් ගමු” අනුරාධපුර දිස්ත්‍රික් තරුණ සමුළුව අමතමිනි. මෙම තරුණ සමුළුවට පැමිණි තරුණ තරුණයන් තමන්ගේ ප්‍රශ්න ජනාධිපතිවරයා වෙත යොමු කළ අතර ඊට නිසි විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන යන ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා තරුණ තරුණියන් දැනුවත් කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම නීතිගත කරමින් එම සහනය රටට ලබාදීමට කටයුතු කරන බවත් ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමේ නව නීතිය මෙම මැයි මාසයේදී ගෙන එන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීමේ කාලය 2042 දක්වා දීර්ඝ කර ගැනීමටත් එම ණයවලින් කොටසක් ඉවත් කර ගැනීමටත් සාකච්ඡා කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යෑමට නම් අපනයන ආර්ථිකයක් කඩිනමින් ඇති කර ගැනීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය. මෙරට තරුණ තරුණියන් නවීන තාක්ෂණයෙන් බල ගන්වමින් ඔවුන් රටේ ආර්ථිකයට ඍජුව දායක කර ගැනීමේ වැඩපිළිවෙළ රජය සතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද සඳහන් කළේය.

“මේ අපේ ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන බිල් ගේට්ස් හාවඩ් සරසවියේ උපාධිය අසමත් වී තිබෙනවා. ඩී.එස්. සේනානායක මහතා සාමාන්‍ය පෙළ උසස් පෙළ අසමත් වුණත් එතුමගේ මිතුරන් බවට නේරු මහතා පත් වුණා. ජීවිතය විභාග දෙපාර්තමේන්තුවේ සහතිකයකට අසමත් කිරීමට ඉඩ නොතැබිය යුතුයි. වර්තමානය වන විට ක්‍රීඩාව, කලාව, ගායනය හා විවිධ ක්ෂේත්‍රවලින් දක්ෂතා දක්වා තමන්ගේ ජීවිතය සමත් කර ගන්නා පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් සිටිනවා.

තමන්ගේ දක්ෂතාවලට තැන ලබාදෙන අධ්‍යාපන ක්‍රමයක් ඉදිරියේදී සකස් කරනවා. 2022 වසරේදී ඇතිවුණු අර්බුදය නිසා රට විශාල වශයෙන් පසුපසට පැමිණියා. එනිසා රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නවතා දැමීමට සිදුවුණා. ඉදිරි වසර තුළ රාජ්‍ය සේවයට අවශ්‍ය ප්‍රමාණය බඳවා ගැනීමට සැලසුම් කර ඊට මුදල් වෙන් කරනවා. මෙම ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඉදිරි වසර තුනක කාලය විධිමත් වැඩසටහනක් යටතේ ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. ඒ සඳහා දැනටමත් ශක්තිමත් වැඩපිළිවෙළක් රජය සතුව තිබෙනවා.

ඉදිරියේදී තරුණ තරුණියන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඍජුව දායක කර ගැනීමේ වැඩපිළිවෙළක් රජය සතුයි. ස්මාට් තරුණයා බිහි කිරීම සඳහා රජය වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. අධ්‍යාපනය ස්මාට් කෙරෙනවා වගේම, ස්මාට් කෘෂිකර්මාන්තයක් ඇති කිරීමටත් කටයුතු කරනවා. එමඟින් ශක්තිමත් ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවක් ගොඩනැඟිය හැකි බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, හිටපු අමාත්‍ය පී. හැරිසන්, එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංග බණ්ඩාර, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු පිළිබඳ) රජිත කීර්ති තෙන්නකෝන්, ජනාධිපති වෘත්තිය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, උතුරු මැද පළාත් හිටපු විපක්ෂ නායක නීතිඥ කස්තුරි අනුරාධනායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

More Stories