පැහැරගෙන ගොස් තර්ජනය කළ බව කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියට මෙම මස 09 දාට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට  ප්‍රකාශයක් ලබා දෙන ලෙසත් ඒතෙක් ඇගේ විදේශගත වීම තහනම් කිරිමටද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව  විසින් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය මෙම මෙම නියෝගය නිකුත් කළාය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව  වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා ඉකුත් 25 වනදා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික වීසා නිලධාරිනියක කිසියම් කණ්ඩායමක් විසින් සුදු කාර් රථයකින් පැහැරගෙන ගොස් දැනට විදේශගතව සිටින රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතාට වීසා ලබාදීම සම්බන්ධයෙන් තර්ජනාත්මකව කරුණු විමසා ලිංගික අඩන්තේට්ටම් කළ බවට එම තානාපති කාර්යාලයේ තානාපතිවරයා විසින් විදේශ අමාත්‍යාංශය හරහා පොලිස්පතිවරයා වෙත යොමු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බව සඳහන් කළේය.

මේ පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයට ගොස් අදාළ කාන්තාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට උත්සහ කළ ද එම නිලධාරිනිය පිළිබඳව තොරතුරු හෙළි කිරීම අදාල තානාපති කාර්යාලයේ  නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බව රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේය. ඉන් පසුව ඇයගේ නිවසට ගොස් පරික්ෂා කිරීමේදී නිවෙසේ ද කිසිවෙකු නොමැති බවට කරුණු අනාවරණය වූ බවත් ඇයගේ සැමියා බැංකු නිලධාරියකු වන අතර ඔහු රැකියාව කළ බැංකුවට ගොස් පරික්ෂා කිරීමේ දී ඔහු සේවයට වාර්තා කර නොමැති බවට කරුණු අනාවරණය වූ බව ද රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ හෙළිකර තිබේ.

තානාපති කාර්යාලයේ නිලධාරියකු පැහැරගෙන යාම බරපතළ සිද්ධියක් බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා එහි සත්‍ය අසත්‍යතාවය අනාවරණය කර ගැනීම සඳහා පැහැරගැනීමට ලක්වූ බව කියන කාන්තාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම අත්‍යවශ්‍ය බව සඳහන් කළේය. යම් හෙයකින් ඇය විදේශ ගත වුවහොත් සත්‍ය අනාවරණය කර ගැනීමට තිබෙන අවස්ථාව අහිමි වන බවත්  එසේ වුවත් රටට විශාල කැළලක් සිදු වන බවත් පෙන්වා දුන් රජයේ නීතිඥවරයා මෙය පුද්ගල බද්ධ කරුණක් නොව සමස්ත රටටම බලපාන ප්‍රධාන කරුණකැයි ද අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

එබැවින් අදාල තැනැත්තියට විදේශ ගතවීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒහිදි මෙම නියෝගය නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් පැමිණිල්ල ලබන 09  වනදා කැඳවීමට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

More Stories